ශ්‍රී ලංකා ක්‍රිඩකයින්ගෙන් කැපී පෙනෙන දක්ෂතා

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේදී ශ්‍රී ලංකා ක්‍රිඩකයින්ගෙන් කැපී පෙනෙන දක්ෂතා

by Hashini De Mel 10-04-2018 | 10:05 PM

COLOMBO (News 1st) - 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ තරග පැවැති 6 වැනි දිනය වූ අද ශ්‍රී ලංකා ක්‍රීඩක ක්‍රීඩිකාවන් රැසකගේ දක්ෂතා කැපී පෙනීය.

ඒ, මලල ක්‍රීඩා සහ බොක්සිං ඉසව්වලිනි. අද පැවැති දුර පැනීම පිරිමි ඉසව්වට සහභාගී වූ ජනක ප්‍රසාද් විමලසිරි මීටර 7.84ක දක්ෂතාවක් දක්වමින් එම ඉසව්වේ අවසන් තරගයට අද සුදුසුකම් ලබා ගත්තේ ය. රුමේෂිකා රත්නායක මීටර 200 කාන්තා ධාවන ඉසව්වේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගත්තේ එහි දෙවැනි මූලික වටයේ තරගයේදී තත්පර 23.43ක දක්ෂතාවක් දක්වමිනි. මේ අතර අද පැවැති බොක්සිං අර්ධ අවසන් පූර්ව තරගයට සහභාගි වූ තිවංක රණසිංහ කිලෝග්‍රෑම් 46 - 49 පිරිමි ඉසව්වේ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගෙන ඇත. බොක්සිං තරගවල තුන්වන ස්ථානය සඳහා තරගයක් නොපැවැත්වීම හේතුවෙන් අවසන් පූර්ව වටයේදී පරාජය වන ක්‍රීඩකයින්ට ලෝකඩ පදක්කමක් හිමිවන බැවින් තිවංක මේවන විට ද බොක්සිං ඉසව්වෙන් පදක්කමකට හිමිකම් කියා අවසන් ය. ඒ අනුව 21 වැනි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මේ දක්වා පැවැති තරගවලට අනුව බොක්සිං ක්‍රීඩාවෙන් ලෝකඩ පදක්කම් දෙකක් සඳහා ශ්‍රී ලංකාව සිය ස්ථානය තහවුකරු කරගෙන සිටි. කිලෝග්‍රෑම් 45 - 48 බර පන්තියෙන් තරග කරන අනුෂා කොඩිතුවක්කු ද මේවන විට ලෝකඩ පදක්කමක් සඳහා සුදුසුකම් ලබා සිටින අතර 1950 වසරෙන් අනතුරුව පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලකදී බොක්සිං ඉසව්වෙන් මෙරටට පදක්කමක් හිමි වන්නේ පළමුවැනි වරට වේ. ඔලිම්පික් ලෝකඩ පදක්කම්ලාභී ක්‍රීඩිකා ඉන්දියාවේ මේරි කොම් සමග අනුෂා මෙරට වේලාවෙන් හෙට උදෑසන 7.32ට තරග බිමට පිවිසිමට නියමිත ව ඇත. ඔවුන් දෙදෙනා හමුවෙන දෙවැනි අවස්ථාව මෙය වන අතර 2016 දකුණු ආසියානු ක්‍රීඩා උළෙලේ කිලෝග්‍රෑම් 48 - 51 බර පන්තියේ අවසන් තරගයේදී අනුෂාට රන් පදක්කම ගිලිහුනේ පාදයේ ආබාධයකට ලක්වීම හේතුවෙනි. මෙවර පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ මේ දක්වා පැවති තරගවලදී ශ්‍රී ලංකාව එක් රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා සිටින අතර එම පදක්කම් සියල්ලම දිනා දීමේ ගෞරවය හිමි වන්නේ බර ඉසිලීමේ ක්‍රීඩක ක්‍රීඩිකාවන්ට ය. ඒ අනුව 2014 වසරෙන් අනතුරුව පළමු වරට පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලකදී ශ්‍රී ලංකාවට පදක්කම් දිනා දීමට ඉන්දික දිසානායක, චතුරංග ලක්මාල් සහ දිනූෂා ගෝමස් සමත් විණි.