ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල වෙනස් වෙයි ද?

ඛනිජ තෙල් සංස්ථාවේ ඉන්ධන මිල වෙනස් වෙයි ද?

by Hashini De Mel 10-04-2018 | 9:42 PM

COLOMBO (News 1st) - ඛනිජ තෙල් ගෙන්වීම සඳහා රජයට දැරීමට සිදු ව ඇති වියදම ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවති.

ජනවාරි මාසයේදී පමණක් මෙරට බොරතෙල් ගෙන්වීමට දැරූ වියදම පසුගිය වසරේ එම මාසයට සාපේක්ෂව 147% කින් ඉහළ ගොස් ඇතැයි මහ බැංකු දත්තවල සඳහන් ය. මේ පසුබිම තුළ ඉන්ධන මිල ගණන් සම්බන්ධයෙන් ඉදිරි සති කිහිපයේ තීරණයක් ගැනීමට සිදුවෙයි ද? 2015 ජනවාරි මාසයේදී යහපාලන රජය බලයට පත්වීමත් සමග ඛනිජ තෙල් මිල ගණනන් පහළ දැමීමට පියවර ගත්තේ ය. ඊට හේතුවුයේ ලෝක වෙළඳපොළේ තෙල් මිල ගණන් කළින් වසරවලට සාපේක්ෂව අඩු මිලක පැවතීමයි. නමුත් පසුගිය මාස කිහිපය තුළ ලෝක වෙළෙඳපොළේ තෙල් මිල ගණනන් ඉහළ යාමේ ප්‍රවනතාවක් නිර්මාණය විය. ලංකා ඉන්දීය ඔයිල් සමාගම පසුගිය පෙබරවාරි 23 වැනි දා සිට ඩීසල් ලීටරයක් රුපියල් 5.00 කින් හා පෙට්‍රල් ලීටරයක් රුපියල් 9.00 කින් ඉහළ දැමීමට පියවර ගත්තේ මේ පසුබිම තුළ ය. ලංකා ඛනිජ තෙල් සංස්ථාව තවදුරටත් පවතින මිලට ඛනිජ තෙල් ලබාදෙන්නේ දිනකට රුපියල් මිලියන 33 ක පමණ පාඩුවක් ලබමිනි. නමුත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදල පසුගිය වසරේ අගෝස්තු මාසයේ නිකුත් කළ වාර්තාවකින් ඉන්ධන සඳහා මිල සූත්‍රයක් හඳුන්වාදීමට මේ වසරේ මාර්තු මාසය දක්වා කල්දී තිබුණි. මූල්‍ය අරමුදල ලබාදෙන විස්තීරණ ණය පහසුකමට අදාළ දෙවන වාරිකය මුදා හැරීමට පෙර නිකුත් කළ සමාලෝචන වාර්තාවේ ස්වයංක්‍රීයව මිල තීරණය වන සූත්‍රයක් සකස් කිරීමේ අවශ්‍යතාව අවධාරණය කර ඇත. එහි දැක්වූයේ මෙම මිල සූත්‍රය ප්‍රමාදවීම හේතුවෙන් ඛනිජ තෙල් සංස්ථාව දිගින් දිගටම පාඩු ලබනු ඇති බවයි. මෙම මිල සූත්‍රය සම්බන්ධයෙන් අප්‍රේල් මාසයේ 20 වන දා ආරම්භ වන සාකච්ඡා වටයේදී ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන බව මුදල් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා අද ඩේලි එෆ්ටී පුවත්පතට පවසා තිබුණි. වොෂින්ටන් නුවරදී මෙම රැස්වීම පැවැත්වීමට නියමිත වේ. මුදල් අමාත්‍යාංශයේ ලේකම්වරයා උපුටා දක්වමින් පුවත්පත වාර්තාකර ඇත්තේ, ඛනිජ තෙල් හා මුදල් අමාත්‍යාංශ ඒකාබද්ධව මිල සූත්‍රය ඉදිරියේදී කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට බලාපොරොත්තුවන බව ය. https://www.youtube.com/watch?v=U9SniFRyQhA