කුඩා ව්‍යවසායකයින්ට දියුණු වෙන්න තැපෑලෙන් උදව්වක්

කුඩා ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ජාත්‍යන්තරයට ගෙනියන්න තැපැල් දෙපාර්තමේන්තුවෙන් ක්‍රමවේදයක්

by Chathuranga Rajapaksha 10-04-2018 | 8:40 PM
COLOMBO (Newsfirst) - සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන ජාත්‍යන්තර වෙළඳපොළට ගෙන යාමට අවශ්‍ය වෙළඳපොළ පුළුල් කිරීමේ ව්‍යාපෘතියක් පිළිබඳ තැපැල් දෙපාර්තමේන්තුව විසින් හඳුන්වා දෙනු ලැබ තිබේ. ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන bepost (Beyond the post) නමැති ව්‍යාපාර ක්‍රමවේදය තුළින් ජනතාව අතරට ගෙන යාමට නියමිත ය. අද තැපැල් දෙපාර්තමේන්තුවේ පැවති මාධ්‍ය හමුවකදී තැපැල් සේවා අමාත්‍ය එච්.එම්.ඒ. හලීම් මහතා පැවසුවේ ජාතික ව්‍යවසායකත්ව අධිකාරිය සමග එක්ව මෙම වැඩපිළිවෙළ ක්‍රියාවට නංවන බවය. ඒ අනුව සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයින්ගේ නිෂ්පාදන bepost.lk නමැති වෙබ් අඩවිය ඔස්සේ අන්තර්ජාලය හරහා ඇනවුම් කර ජනතාවට මිලදී ගැනිමට අවස්ථාව හිමිවෙයි. තැපැල්පති රෝහණ අභයරත්න මහතා පැවසුවේ අහාර පාන, රෙදි පිළි, විසිතුරු භාණ්ඩ, අත්කම් නිර්මාණ, බෑග්, සපත්තු වැනි භාණ්ඩ ඒ අනුව අන්තර්ජාලය ඔස්සේ ඇණවුම් කළ හැකි බව ය. අදාළ නිෂ්පාදනවල ප්‍රමිතිය ජාතික ව්‍යවසායකත්ව අධිකාරිය මගින් තහවුරු කරන බව ද එම මාධ්‍ය හමුවේදී අනාවරණය විය. තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම පුළුල් කිරීම මෙම වැඩපිළිවළේ තව ත් අරමුණක් බව තැපැල්පතිවරයා වැඩි දුරට ත් සඳහන් කළේය.