විශ්වාසභංගයෙන් පසු පළමු ශ්‍රීලනිප රැස්වීම අද

විශ්වාසභංගයෙන් පසු පළමු ශ්‍රීලනිප රැස්වීම අද

by Sagarika Chathumali 09-04-2018 | 6:51 AM
COLOMBO (News 1st) : ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභා රැස්වීම ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් අද ජනාධිපති නිල නිවසේදී පැවැත්විමට නියමිතව තිබේ. පක්ෂ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා සඳහන් කළේ, අද රාත්‍රී 7 ට මධ්‍යම කාරක සභාව රැස්විමට නියමිත බවයි. පසුගිය 4 වන දා අග්‍රාමාත්‍යවරයාට එරෙහිව ඉදිරිපත් වූ විශ්වාසභංග යෝජනාවේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂය නියෝජනය කළ සුසිල් ප්‍රේමජයන්ත, දයාසිරි ජයසේකර, චන්දිම වීරක්කොඩි, තිලංග සුමතිපාල, ඩිලාන් පෙරේරා,සුසන්ත පුංචිනිලමේ, ටී. බී. ඒකනායක, අනුරාධ ජයරත්න, තාරානාත් බස්නායක, ලක්‍ෂ්මන් වසන්ත, අනුර ප්‍රියදර්ශන යාපා, ජෝන් සෙනෙවිරත්න, එස් . බී. දිසානායක, ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන,සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ, සුමේධා ජී. ජයසේන යන මහත්ම මහත්මීහු විශ්වාසභංගයට පක්ෂය ඡන්දය ප්‍රකාශ කළහ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහ එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහලේකම්වරු දෙදෙනා ඇතුළු 26 දෙනෙක් ඡන්දය ප්‍රකාශ කිරීමෙන් වැළකී සිටියහ. එවන් පසුබිමක විශ්වාසභංගයට පක්ෂ වූ මන්ත්‍රීවරුන් 16 දෙනා පෙරේදා ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට දැනුම් දුන්නේ, තම කණ්ඩායම තනතුරුවලින් හා ආණ්ඩුවෙන් ඉවත්වීමට සූදානම් බවයි.