අනූෂා කොඩිතුවක්කු රිදී පදක්කමක් අභියස

බොක්සිං ඉතිහාසය අලුතින් ලියන අනූෂා කොඩිතුවක්කු රිදී පදක්කමක් අභියස

by Hashini De Mel 09-04-2018 | 10:24 PM

COLOMBO (News 1st) - ශ්‍රී ලාංකීය බොක්සිං ක්‍රීඩාවේ ස්වර්ණමය අවස්ථාවක් උදා කිරීමට ඊයේ අනූෂා කොඩිතුක්කු සමත් විය.

පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලකදී බොක්සිං ක්‍රීඩාවෙන් ශ්‍රී ලංකා පදක්කමක් හිමි කර ගෙන ඇත්තේ දශක 4 කට පමණ පසුව වේ. ඔස්ට්‍රේලියාවේ ගෝල්ඩ් කොස්ට්හී දී පැවැත්වෙන පොදුරද මඩුළු ක්‍රීඩා උළෙලේ, ‍බොක්සිං කිලෝග්‍රෑම් 45 - 48 බර පංතියේ අර්ධ අවසන් පූර්ව වටය අනූෂා ජය ගත්තේ, ප්‍රතිවාදී ක්‍රීඩිකාවට කිසිදු අවස්ථාවක් ලබා නොදෙමිනි. කේමන් දුවත් නියෝජනය කළ බ්රැන්ඩි බාර්න්ස් පළමු වටයෙන්ම ඉවත් විය. 39 වැනි වියේ පසු වන අනුෂා කොඩිතුවක්කු ශ්‍රී ලංකා වංශකතාවට එක් වන්නේ පොදුරාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළෙලක බොක්සිං පදක්කමක් දිනු පළමු ක්‍රීඩිකාව ලෙසිනි. අනුෂා කොඩිතුවක්කු ආසියානු ශූරතා බොක්සිං ලෝකඩ පදක්කම් තුනක් හිමි කර ගෙන සිටි. ගිරිඋල්ල බටපොතැල්ල ඇත පිටිසර ප්‍රදේශයකින් ක්‍රීඩාවට පැමිණි අනුෂා දුක දිනා ජය ගත් ක්‍රීඩිකාවකි. ඇය ජාතික සහ ජාත්‍යන්තර බොක්සිං වලල්ල ජය ගත්තේ එම්. ඒ. එස් ක්‍රීඩා සමාජය නියෝජනය කරමින් ය. පොදු රාජ්‍ය මණ්ඩල ක්‍රීඩා උළලේ අවසන් පුර්ව වටයේ තරගයේදී ඉන්දියාවේ මේරි කොම් සමග අනුෂා තරග වැදීමට නියමිත වේ. අනුෂාගේ ප්‍රතිවාදිනිය වන මේරී කොම් 2012 ලන්ඩන් ඔලිම්පික් උළලේදී ලෝකඩ පදක්කමක් දිනා ගත්තා ය. මේරිකොම් සහ අනුෂා අතර පැවැති තරගයක අඳුරු මතකයක් ද ඇත. 2016 දකුණු ආසියානු ක්‍රීඩා උළලේ කිලෝග්‍රෑම් 48 - 51 බර පංතියේ අවසන් තරගයේදී අනුෂා තරග වැදුණේ මේරී කොම් සමගයි. එම තරගයේදී අනුෂාට කණගාටුදායක අද්දැකීමකට මුහුණ පෑමට සිදු විය. එදා පාදයේ ආබාදයකට ලක් වූ අනුෂා මෙදා යලි මේරී කොම් සමග මුහුණට මුහුණ තරග වැදීමට සුදානම් වනු ඇත. 36 හැවිරිදි මේරි කොම් සහ අනුෂා අතර අවසන් පුර්ව තරගය ලබන 11 වන දා පැවැත් වීමට නියමිත වේ. https://www.facebook.com/NewsfirstSL/videos/1906423876084528/