දේශපාලන පළි ගැනීම්වලට ලක් වූවන්ට සරණක් නැත් ද?

දේශපාලන පළි ගැනීම්වලට ලක්වූවන්ට සරණක් නැත් ද?

by Sagarika Chathumali 08-04-2018 | 9:49 PM
COLOMBO (News 1st)  : එක්සත් ජාතික පාක්ෂිකයින් පිරිසක් මුහුණ දී සිටින තත්ත්වය පිළිබඳ නිව්ස් ෆස්ට් කරන හෙළිදරව්වක් මේ.... එක්සත් ජාතික පක්ෂය තුළන් පසුගිය විසිවසර පුරාම අසන්නට ලැබුණේ, පක්ෂය තුළ ඇතිවූ අර්බුදයි. නායකත්වයේ වෙනසක් වෙනුවට නායකත්වය ලබාදුන් පැලැස්තර විසඳුම් හේතුවෙන් එම තත්ත්වය ඇතිවිය. මෙම අර්බුදවලට විසඳුම් සොයනවා මිස පාක්ෂිකයින් වෙනුවෙන් යමක් සිදුකිරීමට කිසිදු ක්‍රියාමාර්ගයක් ගෙන නොමැති බව මෙම ගැටලු පිළිබඳ විමර්ශනය කිරීමේදී පෙනි යයි. 1994 වසරේ සිට 2014 වසර දක්වා කාලය තුළ දේශපාලන පළිගැනීම්වලට ලක්වූවන්ට සහන සැලසීමට එක්සත් ජාතික පක්ෂය අපොහොසත්ව ඇති බව පාක්ෂිකයෝ පෙන්වා දෙති. ඔවුන් පෙන්වාදෙන්නේ පක්ෂය තුළම සිටින අමාත්‍යවරුන්ගේ කඹ ඇදිල්ල නිසා පළිගැනීමට ලක්වූ පාක්ෂිකයන්ට සහන සැලසීම දිනෙන් දින ප්‍රමාද වන බවයි . 2016 වසරේ ජනවාරි 15 වෙනිදාට අවසන් කරනු ලැබූ දේශපාලන හේතුන් මත විවිධ ගැටලුවලට මුහුණ දුන් අයට සහන සැලසීමේ කමිටුවට ලද අභියාචනා විමර්ශනය කිරීමේ සාරංශ සටහනේදී 1994 වසරේ සිට 2014 වසර දක්වා 31 666 දෙනෙකු තමන්ට සහන සලසන ලෙස අභියාචනා ඉදිරිපත් කර තිබේ. එම සටහනට අනුව වැඩිම අභියාචනා සංඛ්‍යාවක් ඉදිරිපත් කර ඇත්තේ අධ්‍යාපන අමාත්‍යංශයේ දේශපාලන පළිගැනීම්වලට ලක්වූ පිරිසයි එය ගණනින් 13 947කි. ප්‍රවාහන අමාත්‍යංශය නීතිය සාමය හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය , විදුලි බල හා පුණර්ජනනීය බලශක්ති අමාත්‍යංශය, පුනරුප්ථාපන හා නැවත පදිංචි කිරීම් ඇතුළු රාජ්‍ය අමාත්‍යංශ 43ක රාජ්‍ය සේවකයින් 31 666 දෙනෙකු තමන් දේශපාලන පළිගැනීම්වලට ලක්වූ බවත්  ඊට සහන සලසන ලෙස අභියාචනා ඉදිරිපත් කර තිබේ. ඉන් බහුතරය එක්සත් ජාතික පක්ෂය දිගින් දිගටම ලද මැතිවරණ පරාජයත් සමග දේශපාලන පළිගැනීම්වලට ලක්වූ එම පක්ෂයට ලැදි රාජ්‍ය නිලධාරීන් සහ සේවකයින් ය. පත්කිරීමේදී , උසස්වීම් හා ස්ථාන මාරුවීම් ලබාදීමේදී දේශපාලනික වශයෙන් ඔවුන් පළිගැනීමට ලක්ව තිබේ. සෑම මැතිවරණයකදීම එක්සත් ජාතික පක්ෂ දේශපාලන පළිගැනීම්වලට ලක්වූ පිරිසට සහන සලසන බවට පොරොන්දු ඉදිරිපත් කළ ද , ඒ පිළිබඳ සොයා බැලීමට විටින් විට කමිටු පත් කළ ද ඉන් පීඩාවට පත්වූ පිරිසට යුක්තිය ඉටුවී නැහැ. පොලීසිය භාර අමාත්‍යවරුන් එක්සත් ජාතික පක්ෂයෙන් පත්වූව ද පොලීසියේ පමණක් මේ වන විට 333 දෙනෙකු හා බන්ධනාගාර නිලධාරීන් 18 අතුළු 351 දෙනෙකු දේශපාලන පළිගැනීම්වලට ලක්ව සහන බලාපොරොත්තුවෙන් කල්මරමින් සිටී. පීඩාවට පත්වූ පිරිස ඉල්ලා සිටින්නේ , පක්ෂය වෙනුවෙන් කැපවී කටයුතු කළ තමන් වෙත පක්ෂ නායකත්වයෙන් හෝ බලය ලබාගත් අමාත්‍යවරන්ගෙන් සාධාරණය ඉටුකර දෙන ලෙසයි . https://www.facebook.com/NewsfirstSL/videos/1905203166206599/