රත්නාවලී කැකුණවෙල මහත්මිගේ අවසන් කටයුතු හෙට

රත්නාවලී කැකුණවෙල මහත්මිගේ අවසන් කටයුතු හෙට

by Sagarika Chathumali 08-04-2018 | 9:58 PM
මුවන්පැලැස්සේ මැණිකේ... අභාවප්‍රාප්ත රංගන ශිල්පිනි, රත්නාවලී කැකුණවෙල මහත්මිගේ අවසන් කටයුතු හෙට සිදු කිරීමට නියමිතයි. රත්නාවලී කැකුණවෙල... මුවන්පැලැස්ස ගුවන් විදුලි නාට්‍යයේ මැණිකේගේ භූමිකාව තුළින් ඇය ජනාදරයට පත්වූවා ය. ඇය මෙරට ගුවන්විදුලි ශ්‍රාවක හදවත් තුළ නොමැකෙන චරිතයක් බවට පත්වුයේ පුරා වසර 52 ක් මුවන්පැලැස්සට සම්බන්ධ වෙමිනි. සත් සමුදුර චිත්‍රපටයෙන් රිදී තිරයට පිවිසි ඇය, මුවන්පැලැස්ස චිත්‍රපට තුනෙහි ද මැණිකේ ගේ භූමිකාවට පණ දුන්නා ය. දියමන්ති ,කරුමක්කාරයෝ ,ආරාධනා ,දඩයම ,බට්ටි ඇතුළු සිනමා සිත්තම්වල රත්නාවලී ලකුණ රැඳුණේ සදාතනික මතකයක් ලෙස සහෘද මනසේ තැන්පත් වෙමිනි. කලක් රෝගාතුරව සිටි රත්නාවලී කැකුණවෙල මහත්මිය ඊයේ පස්වරුවේ කිරිබත්ගොඩ පිහිටි නිවසේදී අභාවප්‍රාප්ත වන විට ඇය 88 වන වියේ පසු වූවා ය. කැකුණවෙල මහත්මියගේ දේහය මේ වන විට රත්මලාන වෙඩිකන්ද පාරේ පිහිටි දියණියගේ නිවසේ මහජන ගෞරවය සඳහා තැන්පත් කර තිබේ. අභාවප්‍රාප්ත රත්නාවලී කැකුණවෙල මහත්මියගේ අවසන් කටයුතු හෙට පස්වරුවේ බොරැල්ල පොදු සුසාන භූමියේ දී සිදු කිරීමට නියමිතයි.