උතුරේ තවත් ඉඩම් අක්කර 650ක් මුල් පදිංචිකරුවන්ට

උතුරේ තවත් ඉඩම් අක්කර 650ක් මුල් පදිංචිකරුවන්ට

by Sagarika Chathumali 08-04-2018 | 6:36 PM
COLOMBO (News 1st)  : උතුරු පළාතේ යුද හමුදාව යටතේ පවතින ඉඩම් අක්කර 650ක් යළි මුල් අයිතිකරුවන්ට පවරාදීම කෙරෙහි රජයේ අවධානය යොමුව තිබේ. හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ, ආරක්ෂාවට තර්ජනයක් නොවන පරිදි මහජනතාව වෙත ලබා දිය හැකි ඉඩම් පිළිබඳව ආරක්ෂක අංශ විසින් සලකා බැලීමක් කළ බවයි. 1990 වසරේ සිට රජයේ ආරක්ෂක හමුදා යටතේ පවතින උතුරු පළාතේ ඉඩම් අක්කර 650ක් පෞද්ගලික හිමිකරුවන්ට පැවරීමට තීරණය කර ඇතැයි සන්ඩේ ටයිම්ස් පුවත්පත අද වාර්තා කර තිබිණ. පලාලි අධිආරක්ෂිත කලාපයට අයත් වලිකාමම් උතුරු ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ ඉඩම් ඊට ඇතුළත් ය. ඊට අමතරව පේදුරු තුඩුවේ සිට කන්කසන්තුරේ දක්වා කිලෝ මීටර් 20ක මාර්ගය ද අප්‍රේල් 16 වන දා සිට උදෑසන 6 සිට සවස 6 දක්වා විවෘත කිරීමට නියමිතයි. බන්ධනාගාර ප්‍රතිසංස්කරණ, පුනරුත්ථාපන, නැවත පදිංචි කිරිම්, හා හින්දු කටයුතු අමාත්‍ය ඩී.එම්.ස්වාමීනාදන් මහතා උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් පුවත්පත පෙන්වා දෙන්නේ සංහිඳියාව වර්ධනය කිරිම වෙනුවෙන් මෙම තීරණයට එළැඹි බවයි. අමාත්‍යවරයා උපුටා දක්වමින් සන්ඩේ ටයිම්ස් පෙන්වා දෙන්නේ එම ප්‍රදේශවල ජනතා අවශ්‍යතා හඳුනා ගනිමින් එම තිරණවලට එළැඹීමට ආරක්ෂක අංශ ද සහය පළ කරන බවයි. දැනට ආරක්ෂක අංශ භාරයේ ඇති පලාලි අවට ඉඩම්වලින් අක්කර 683ක් මහජනතාව වෙත භාර දීමට සැලසුම් කර ඇති බව මේ පිළිබඳව නිවුස්ෆස්ට් කළ විමසීමකදී හමුදා ප්‍රකාශක බ්‍රිගේඩියර් සුමිත් අතපත්තු මහතා සඳහන් කළේ ය. ඔහු කියා සිටියේ ලබන 16 වන දා යාපනය දිස්ත්‍රික් ලේකම්වරයා වෙත අදාළ ඉඩම් යළි භාර දෙන බවයි. මේ යටතේ තෙල්ලිපලෛ, මයිලෙට්ටි උතුර, තයියෙට්ටි නැගෙනහිර, මයිලෙට්ටිතුරෛ උතුර, යන ප්‍රදේශවල ඉඩම් මුදා හැරෙනු ඇති.