ඉන්ධන සඳහා කඩිනමින් මිල සුත්‍රයක්

ඉන්ධන සඳහා කඩිනමින් මිල සුත්‍රයක්: ඛනිජ තෙල් සංස්ථාවේ සතියක අතිරේක පාඩුව රු. මිලියන 266ක්

by Chathuranga Rajapaksha 08-04-2018 | 7:16 AM
COLOMBO (Newsfirst) - ඉන්ධන මිල සම්බන්ධයෙන් මිල සුත්‍රයක් කඩිනමින් හඳුන්වා දෙන බව මුදල් අමාත්‍යාංශය පවසයි. එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, ඒ පිළිබඳ ඛනිජ තෙල් අමාත්‍යාංශය සමඟ සාකච්ඡා සිදු කරමින් පවතින බව ය. අමාත්‍යාංශ මට්ටමින් අවසන් එකඟතාවලට එළැඹීමෙන් පසු මිල සුත්‍රය අනුමැතිය සඳහා කැබිනට් මණ්ඩලයට යොමු කරන බව ද ඔහු ප්‍රකාශ කළේය. මේ අතර, IOC සමාගම පසුගියදා ඉන්ධන මිල ඉහළ දැමීම හේතුවෙන්, ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ සතියක අතිරේක පාඩුව රුපියල් මිලියන 266ක් බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශය පවසයි. එහි ලේකම් උපාලි මාරසිංහ මහතා ප්‍රකාශ කළේ, මේ තත්ත්වය හමුවේ ඛනිජ තෙල් නිතිගත සංස්ථාව දැඩි අසීරුතාවකට පත් ව ඇති බව ය. පවතින තත්ත්වය හමුවේ දෛනිකව රුපියල් මිලියන 38ක අතිරේක මුදලක් වැය කිරීමට රජයට සිදුවන බව ද උපාලි මාරසිංහ මහතා සඳහන් කළේය.