මිහිලියා මෙත්සරණි අවසන් තරගයට

මිහිලියා මෙත්සරණි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ස්කොෂ් කාන්තා ඉසව්වේ කේවල පළඟ ශූරතා අවසන් තරගයට

by Staff writer 07-04-2018 | 10:38 PM
COLOMBO (Newsfirst) - මිහිලියා මෙත්සරණි පොදු රාජ්‍ය මණ්ඩලයීය ක්‍රීඩා උළෙලේ ස්කොෂ් කාන්තා ඉසව්වේ කේවල පළඟ ශූරතා අවසන් තරගයට අද සුදුසුකම් ලැබුවා ය. මේ වන විට ශ්‍රී ලංකාව රිදී පදක්කමක් සහ ලෝකඩ පදක්කම් දෙකක් දිනා ගනිමින් පදක්කම් සටහනේ සිටින්නේ 12 වැනි ස්ථානයේ යි. මිහිලියා මෙත්සරනි අවසන් පූර්ව තරගයේදී කෙන්යානු ක්‍රීඩිකාව වට 3 ට 0 ක් ලෙස පරාජයට පත් කළා ය. ස්කොෂ් කාන්තා කේවල පළඟ ශූරතා අවසන් තරගය හෙට පැවැත්වීමට නියමිත ය. මෙම ක්‍රීඩා උළලේ බර ඉසිලීම පිරිමි ඉසව්වේ තවත් පදක්කම් බලාපොරොත්තුවක් අද ශ්‍රී ලංකාවෙන් ගිලිහී ගියේ ය. කිලෝග්‍රෑම් 77 පිරිමි තරග ඉසව්වට ශ්‍රී ලංකා කණ්ඩායම් නායක චින්තන ගීතාල් විදානගේ අද සහභාගී වූ අතර ඔහුට හිමි වූයේ 5 වන ස්ථානය යි. මීටර් 100 පිහිණුම් නිදහස් ආර ඉසව්වේ ශ්‍රී ලංකා වාර්තාව අභිබවා ගිය මැතිව් අබේසිංහ මෙවර එම ඉසව්වේ අවසන් පූර්ව වටයට සුදුසුකම් ලබා ගත්තේ ය. ඒ, මීටර් 100 පිරිමි නිදහස් ආර ඉසව්වේ 7 වන මූලික වටයේ තරගයේදී තත්පර 49 යි දශම 1 යි 1 ක දක්ෂතාවක් ප්‍රදර්ශනය කරමිනි. කෙසේ වෙතත් මීටර් 100 පිහිණුම් නිදහස් ආර ඉසව්වේ අවසන් පූර්ව තරගයේදී මැතිව් අබේසිංහට හිමි වූයේ සිව් වැනි ස්ථානය යි.