ජාතියේ ගුවන් සේවයේ අද තත්ත්වයට වගකිය යුත්තේ කවුද?

ජාතියේ ගුවන් සේවය වළපල්ලට තල්ලු කෙරූ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් වූ පමණින් සියල්ල නිවැරදි වේ ද?

by Staff writer 07-04-2018 | 9:15 PM
COLOMBO (Newsfirst) - ශ්‍රීලංකන් ගුවන් සේවය දිගින් දිගට ම පාඩු ලැබීමට හේතු අපි පසුගිය කාලය පුරා වරින් වර අනාවරණ කළෙමු. නව සභාපතිවරයා කරන ප්‍රකාශවලින් ද සනාථ වන්නේ, අප දිගින් දිගට ම කළ හෙළිදරව් කිරීම් සත්‍ය හා නිවැරදි බව ය. අප මේ ආකාරයෙන් ම 2015 වසරේදී බැඳුම්කර වංචා පිළිබඳව සැමටත් කලින් අනාවරණය කළේ ය. ඒ මොහොතේ බලධාරීන් ක්‍රියාත්මක වූවානම් අද රටට මේ තරම් අවාසනාවන්ත තත්ත්වයකට මුහුණ දීමට සිදු නොවේ. ශ්‍රීලංකන් ගුවන් සේවය පිළිබඳව මේ අනාවරණය නව සභාපතිවරයාගේ අවධානය පිණිසයි. ශ්‍රීලංකන් ගුවන් සේවය පිළිබඳව පසුගිය කාලය පුරා වැඩි අවධානයක් යොමු වුණේ අධික පාඩු ලැබීම, අදූරදර්ශී කළමනාකරණ ප්‍රතිපත්ති හා එහි අධ්‍යක්ෂ මණ්ඩලයේ පරිපාලන නොහැකියාවන් හේතුවෙනි. රටට අතිවිශාල බරක් වූ ශ්‍රීලංකන් ගුවන් සේවය පවුල් පාලනයෙන් මුදා ගත්තැයි උදම් ඇනුව ද අගමැතිවරයා පත් කළ අධ්‍යක්ෂක මණ්ඩලය සාර්ථකව කළ කැපී පෙනෙන එකම දේ වූයේ ලැබූ පාඩුව තව තවත් වර්ධනය කිරීම ය. ඉකුත් අධ්‍යක්ෂ මණ්ඩල කාලය තුළ අධික ආර්ථික පාඩුවක් ඇති කළ දුර්වල තීරණ රැසක් ගැනිණි. ඉන් පළමු වැන්න වන්නේ, නිසි දැනුවත් භාවයකින් තොරව උපක්‍රමශීලී නොවී ගුවන් යානා ඇනවුම් අවලංගු කිරීම ය. මේ සඳහා 2016 වසරේදී රුපියල් මිලියන 2562ක් ද, 2017 දී රුපියල් මිලියන 14363ක් ද වන්දි මුදල් වශයෙන් ගෙවීමට සිදු විය. ශ්‍රීලංකන් ගුවන් සමාගම ඒ 350 ගුවන් යානා ඇනවුම් ලේඛනයේ පළමු කිහිප දෙනා අතර තම ඇනවුම යොමු කර තිබිණි. මේ ගුවන් යානා මාදිලියට ඇති ඉතා ඉහළ ඉල්ලුම නිසා අප අත්හරින ගුවන් යානා ලබා ගැනීමට වෙනත් ගුවන් සේවා දැඩි අවධානයකින් පසුවේ. ගුවන් යානා කර්මාන්තය පිළිබද අවබෝධයක් ඇති පාර්ශව පවසන්නේ මේ ස්ලොට්ස් හෙවත් ඇනවුම් ස්ථාන වලට ඩොලර් මිලියන 15ත් 20ත් අතර ඉහළ වටිනාකමක් ඇති බවයි. එවන් ගනුදෙනුකරුවෙකු සොයාගෙන සාකච්ඡා කර තම පාඩුව අවම කර ගන්නට ශ්‍රීලංකන් අධ්‍යක්ෂ මණ්ඩලය උත්සහ කර නැතැයි ඔවුහු පෙන්වා දෙති. වසර 18ක් පැරණි ඒ 330 වර්ගයේ ගුවන් යානා 3ක් තවත් වසර 6ක් සඳහා බද්ධට ගැනීම ද අධ්‍යක්ෂ මණ්ඩලය ගත් තවත් අදූරදර්ශී තීරණයකි. ගුවන් යානා පැරණි වන තරමට එහි නඩත්තු වියදම අධික වන අතර ම, භාවිතයේ විශ්වාසනීයත්වය ද බරපතල ලෙස පහළ යාමක් සිදුවේ. ගුවන් සේවයක් සැමවිට උත්සහ කරන්නේ තම ගුවන් යානා ඇනියේ දළ වයස අවම මට්ටමක පවත්වා ගැනීම ය. එමගින් මගීන් ආකර්ෂණය කර ගන්නට ඇති හැකියාව ඉහළ යයි. නමුත් ශ්‍රීලංකන් අධ්‍යක්ෂ මණ්ඩලය ගත් මෙම තීරණයත් සමග වියදම් අධික වීමත්, මගී ආකර්ෂණය පහළ යාමත් සිදු වේ. මේ අතර පසුගියදා පැවති මාධ්‍ය හමුවකදී ශ්‍රීලංකන් නව සභාපති රංජිත් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ, පැවති අධ්‍යක්ෂ මණ්ඩලය කල් බදු ගිවිසුම්වලට එළැඹී ඇත්තේ, ගුවන් සේවා කර්මාන්තයේ පිළිගත් මිල ගණන්වලට වඩා 20%ත් 30%ත් අතර අධික මිල ගණන්වලට බව ය. දුර්වල ටිකට්පත් කළමනාකරණය හෙවත් ටිකට් පත් අලෙවි කිරීමේදී පිටස්තර පුද්ගලයින් හා ආයතන හරහා ගනුදෙනු කිරීම හේතුවෙන් ආයතනය වෙත ලබා ගැනීමට හැකිව තිබූ ඩොලර් මිලියන 100ක අධික ආදායමක් ද පසුගිය සමයේ පැවති පාලනාධිකාරිය විසින් අහිමි කරගෙන තිබේ. මේ ඉතා දීර්ඝ ලැයිස්තුවකින් කරුණු කිහිපයක් පමණි. ඩොලර් මිලියන 100 ගණනක් රටට අහිමි කරමින් ජාතියේ අභිමානය වන ජාතියේ ගුවන් සේවය වළපල්ලට තල්ලු කර, අගමැතිවරයා විසින් පත් කළ හිටපු අධ්‍යක්ෂ මණ්ඩලය ඉවත් වූ පමණින් සියල්ල නිවැරදි වේ ද.? මේ නාස්තියට හා දූෂණයට වගකිව යුත්තේ රටේ ජාතික ගුවන් සේවය හෝ ජනතාව නොව පැවති පාලනාධිකාරිය හා ඔවුන්ට නායකත්වය දුන් දේශපාලන අධිකාරිය යි.