අලුත් අවුරුදු වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා

අලුත් අවුරුදු වෙනුවෙන් අද සිට විශේෂ ප්‍රවාහන සේවා

by Staff writer 07-04-2018 | 6:51 PM
COLOMBO (Newsfirst) - සිංහල, හින්දු අලුත් අවුරුද්දට හරියටම තව දින 7යි. මේ දින 7 සාප්පු සවාරි වගේ ම ගම්බිම් බලා යන දින 7. ඒ වෙනුවෙන් ප්‍රවාහන අංශ අද සිට විශේෂ ප්‍රවාහන සේවා ආරම්භ කර තිබේ. අලුත් අවුරුද්ද වෙනුවෙන් සාප්පු සවාරි හා ගම්බිම් බලා යන ජනතාවගේ පහසුව සඳහා බස් රථ ගමන්වාර 3500ක් ධාවනය කිරීමට පියවර ගෙන ඇතැයි ගමනා ගමන කොමිසම පවසයි. එහි සභාපති එම්.ඒ.පී. හේමචන්ද්‍ර මහතා පැවසුවේ, කොළඹ බැස්ටියන් මාවතේ සිට දිවයිනේ සියලු ම ප්‍රදේශ වෙත එම සේවා ක්‍රියාත්මක බව ය. මීට සමගාමීව අධිවේගී මාර්ගයේ බස් රථ ගමන්වාර සංඛ්‍යාව ද ඉහළ නංවා තිබේ. ලංකා ගමනා ගමන මණ්ඩලය ද අද සිට ලබන 24 වන දා දක්වා විශේෂ අලුත් අවුරුදු බස් සේවාවක් ආරම්භ කර තිබේ. මීට සමගාමීව අද සිට විශේෂ දුම්රිය සේවා ද ආරම්භ කර තිබේ. ඒ අනුව හෙට සවස 7.20 කොළඹ කොටුව සිට බණ්ඩාරවෙල දක්වා වායු සමනය කළ මැදිරියක් ද සහිත දුම්රියක් ගමන් ආරම්භ කිරීමට නියමිත ය. කොළඹ කොටුව සිට මහව දක්වා තවත් විශේෂ දුම්රියක් හෙට සවස 1.05ට ගමන් ආරම්භ කිරීමට සැලසුම් කර ඇති අතර, මහව සිට කොළඹ කොටුව බලා සවස 5.10ට දුම්රියක් ගමන් ආරම්භ කෙරේ.