​අංගොඩ ලොක්කාගේ තවත් ආධාරකරුවන් 4ක් අත්අඩංගුවට

​අංගොඩ ලොක්කාගේ තවත් ආධාරකරුවන් 4ක් අත්අඩංගුවට

by Staff writer 06-04-2018 | 7:49 AM
COLOMBO (Newsfirst) - සංවිධානාත්මක අපරාධ රැසකට සම්බන්ධ අංගොඩ ලොක්කා නමැත්තාගේ තවත් ආධාරකරුවන් සිව් දෙනෙකු අත්අඩංගුවට ගැනීමට පොලිස් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ නිලධාරීන් සමත්ව තිබේ. ඒ අනුව අත්අඩංගුවට පත්ව ඇත්තේ, පොතුපිටිය කන්කානම්ගේ ධනුෂ්ක ගයාන් සිල්වා හෙවත් රොබා, ගණිතදේවලාගේ සරත් කුමාර රණසිංහ, අලහකෝන් ආරච්චිගේ යොහාන් ප්‍රදීප් කුමාර හෙවත් සුද්දා සහ ක්‍රිෂාන් නිලංග දාබරේ හෙවත් බබා යන පුද්ගලයින් ය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා පැවසුවේ, පසුගිය මාර්තු 19 වන දා අතුරුගිරිය පොලිස් වසමේ ගල්වරුසාව ප්‍රදේශයේදී පුද්ගලයෙකු වෙඩි තබා ඝාතනය කිරීම සහ පසුගිය මාර්තු 26 වන දා අතුරුගිරිය පොලිස් ව‍සමේ ම නිවසකට වෙඩි තබා අලාභ හානි කිරීම යන අපරාධවලට මොවුන් සම්බන්ධ වී ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී ඇති බව ය. මොවුන් සන්තකයේ තිබී ටී 56 වර්ගයේ ගිනිඅවියක්, මැගසින් එකක් සහ උණ්ඩ 12ක්, අපරාධ සඳහා යොදා ගත් යතුරු පැදියක්, ත්‍රිරෝද රථයක්, කඩු 3ක්, පිහි 3ක්, කේරළ ගංජා කිලෝ 2යි ග්‍රෑම් 150ක ප්‍රමාණයක් සහ රුපියල් 79800ක් වටිනා මුදල් ප්‍රමාණයක් ද අත්අඩංගුවට ගෙන තිබේ. මේ අතර හලාවතදී පොලිස් භාරයට ගත් රුපියල් කෝටි දෙකහාමාරකට අධික කේරළ ගංජා තොගය සැකකරුවන් යාපනයේ සිට කොළඹට රැගෙන එමින් තිබූ ඒවා බවට තහවුරු වී තිබේ.