ඔස්ට්‍රේලියා ක්‍රිකට් පිටිය කළඹන අපේ දරුවෙක්!

ඔස්ට්‍රේලියා ක්‍රිකට් පිටිය කළඹන අපේ දරුවෙක්!

by Staff writer 06-04-2018 | 12:26 PM
ශ්‍රී ලාංකිකයින් බොහෝ පිරිසක් මේ වන විට විදේශ රටවල පුරවැසිභාවය ගෙන එම රටවල වාසය කරති. රටක බුද්ධිගලනය යනු එම රටේ අනාගත අභිවෘද්ධියට අතිශය හානිකර ය. එහෙත්, විවිධ හේතු මත ශ්‍රී ලාංකිකයින් බොහෝ පිරිසක් සිය මව් රට හැර ගොස් වෙනත් රටවල වෙසෙති. දශක කිහිපයකට පෙර එසේ එම රටවල පදිංචි වූ ශ්‍රී ලාංකිකයින්ගේ දරුවන් මේ වන විට එම රටවල උරුමක්කාරයින් වී හමාර ය. රට හැර යාම අනුමත කළ නොහැකි වුව ද ඔවුන්ගේ දරුවන් එම රටවල කැපී පෙනෙන දක්ෂතා දැක්වීම ගැන ශ්‍රී ලාංකිකයින් ලෙස අපට ආඩම්බර විය හැකිය. මෙරට නම් හෝ වාසගම් සහිත පුද්ගලයින් ලෝකය ජය ගැනීම පිළිබඳව නිහතමානීව සතුටු විය යුතු ය. රටේ ආඩම්බරය සිරිල් පොන්නම්පෙරුම, ආචාර්ය සරත් ගුණපාල, මහාචාර්ය මලික් පීරිස් ආදී විද්වතුන් කිහිප දෙනෙක් අපට එම ආඩම්බරය පිරිනමා තිබේ. කෙසේ වෙතත් ඔවුන් තවමත් මෙරට පදිංචිකරුවෝ වෙති. මේ අතර, ක්‍රිකට් ක්‍රීඩාවෙන් දක්ෂතා දක්වමින් ලාංකික සම්භවයක් සහිත දරුවන් රැසක් මේ වන විට විවිධ රටවල් නියෝජනය කර තිබේ. ශ්‍රී ලාංකිකයින් ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කළ ඇෂ්ටන් අගා ශ්‍රී ලාංකික මවකගේ කුසින් බිහි වූ දරුවෙකි. කැනඩා ක්‍රිකට් කණ්ඩායමේ සිටි රුවිඳු ගුණසේකර වැන්නන් ද එසේ ය. මේ වන විට ශ්‍රී ලාංකිකයින් විශාල පිරිසක් ඔස්ට්‍රේලියාවේ පදිංචි වී සිටින අතර ඔවුන්ගේ දරුවෝ එරට ක්‍රිකට් ක්‍රීඩාවේ නිරත වී සිටිති. අප හඳුන්වා දීමට සැරසෙන්නේ, එවැනි කැපී පෙනෙන දක්ෂතා දක්වමින් දිනෙන් දින ඔස්ට්‍රේලියානු ක්‍රිකට් අඹරේ දිලෙමින් සිටින පුංචි ක්‍රිකට් ක්‍රීඩකයෙකු පිළිබඳව ය. තිවී සල්වතුර (Thivi Salwathura) ඔහු නමින් තිවී සල්වතුර නම් වන්නේ ය. 12 හැවිරිදි තිවී ඔස්ට්‍රේලියාවේ ක්‍රිකට් සමාජ කිහිපයකට ක්‍රීඩා කර තිබේ. ඔහු මෙම වසරේ Australian Cricket Institute මගින් පිරිනමන හොඳ ම ක්‍රිකට් ක්‍රීඩකයා සම්මානය සඳහා නිර්දේශ වී සිටී. ඔහු මෙම වසරේදී වයස අවුරුදු 17න් පහළ වැඩි ම ලකුණු ලාභීන් අතර දෙවන ස්ථානයේ පසුවන්නේ ලකුණු 570ක් රැස් කරමිනි. ඊට අමතරව ඔහු පන්දු යවන්නෙකු ලෙස කඩුලු 29ක් දවාගෙන තිබේ. මෙවැනි ක්‍රීඩකයින් ඉදිරියේදී ඔස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායම නියෝජනය කරනු ඇත. එසේ වීමට හැකි වේවායි අපි ප්‍රාර්ථනා කරමු.