සෞදි ආරබිය තහංචියක් ඉවත දමයි..

සෞදි ආරබිය තහංචියක් ඉවත දමයි..

by Sagarika Chathumali 05-04-2018 | 5:14 PM
News 1st : සෞදි ආරබිය ක්‍රමක්‍රමයෙන් ලිහිල් ප්‍රතිපත්තියක් වෙත ප්‍රවේශ වෙමින් සිටී. පසුගිය දා කාන්තාවන්ට රිය ධාවනය සඳහා අවසර ලබා දුන් සෞදි අරාබිය මේ වන විට වසා දමා තිබූ සිනමා කාර්මාන්තයේ දොරටු විවර කිරීමට ද ක්‍රියා කරමින් සිටී. ඒ අනුව 35 වසරකට පසු ප්‍රථම වරට ලබන අප්‍රේල් 18 වන දා සෞදි ආරාබියේ සිනමා ශාලාවක් විවෘත කරනු ඇති. එදිනට සිනමා ලෝලීන් වෙනුවෙන් 'Black Panther' චිත්‍රපටය තිරගත කරනු ඇති. මෙම චිත්‍රපට ප්‍රදර්ශනය සිදු වන්නේ,  ඉදිරි අවුරුදු 5 තුළදී සෞදියේ නගර 15ක් ආවරණය කරමින් සිනමා ශාලා 40ක් විවෘත කිරීමේ පස් අවුරුදු සැලැස්මේ පළමු පියවර ලෙසියි. වසර 2030 දර්ශනය ලෙසින් එරට ආර්ථික සහ සමාජීය ප්‍රතිසංස්කරණයක් සඳහා වන යෝධ පියවර තැබුවේ, සෞදියේ මොහොමඩ් බින් සල්මාන් රජු විසිනි. 70 දශකයේදී සෞදි ආරබියේ සිනමා කර්මාන්තය ක්‍රියාත්මක වූ අතර විවිධ බලපෑම් මත එය වසා දැමිණ. ඇතැම් වාර්තාවල දැක්වෙන්නේ, කාන්තා පිරිමි ලෙස සිනමා ශාලා තුළ කොටස් වෙන් නොකෙරෙනු ඇති බවයි. කෙසේ වෙතත් කුමන ආකාරයේ සිනමා නිර්මාණ මෙම සිනමා ශාලා තුළ ප්‍රදර්ශනය සඳහා අවසර ලැබෙන්නේ ද? යන්න පිළිබඳව ත් පැහැදිලිවී නොමැත. සල්මාන් රජුගේ 2030 දැක්ම අනුව තෙල් අපනයනය මත පදනම්ව ඇති සෞදි ආර්ථිකය ඉන් ඔබ්බට ගෙන ගොස් නව රැකියා අවස්ථා හඳුන්වා දීම ඇතුළු වැඩපිළිවෙළක් ඇතුළත් ය. මේ අතර 32 හැවිරිදි සල්මාන් රජු 2018 වසරේදී සෞදි අරාබියේ කාන්තාවන්ට පළමු වරට රිය පැදවීම සඳහා අවසර ලබා දුන්නේ ය.