සිරස මූලස්ථානයට මැර පිරිසකගෙන් ගිනිකෙළි පීඩා

සිරස මූලස්ථානයට මැර පිරිසකගෙන් ගිනිකෙළි පීඩා

by Sagarika Chathumali 05-04-2018 | 8:04 PM
එදා, - මහින්ද රාජපක්ෂ පාලන සමය - ලසන්ත වික්‍රමතුංග ඝාතනය. - ප්‍රගීත් එක්නැලිගොඩගේ අතුරුදහන්වීම. - සිරස දෙපානම මැදිරි සංකීර්ණයට කඩා වැදී එල්ල කළ මැර ප්‍රහාරය. - සිරස ප්‍රධාන කාර්යාලය ඉදිරිපිට රැස්වී එල්ල කළ ගල්මුල් ප්‍රහාරය. - කීත් නොයාර්, පෝද්දල ජයන්ත, උපාලි තෙන්නකෝන්, ඇතුළු මාධ්‍යවේදීන් ගණනාවකට වරින් වර එල්ල කළ ප්‍රහාර. - මාධ්‍යවේදීන් විශාල පිරිසක් රට හැරයන තත්ත්වයට පත්කිරීම. මේවා නවතා මාධ්‍ය නිදහස තහවුරු කරන බවට  2018 / 02 / 07 වන දා රාත්‍රියේ කොස්ගස් හන්දිය රැස්වීමකදී අග්‍රාමාත්‍යවරයා පොරොන්දු විය. "අපි තමයි මේක ආරම්භ කරලා මේ නිදහස ඇති කළේ, නිදහස් සමාජයක් නැතුව අපිට ඉදිරියට යන්න බෑ. සත්‍ය ප්‍රවෘත්ති දාන්න පුළුවන්. අසත්‍ය ප්‍රවෘත්ති දාන්න පුළුවන්. මේ හැම නිදහසම තියෙන්නේ අපි ඇති කරපු නිදහස් සමාජයේ කියලා මන් කියන්න කැමතියි" අගමැතිවරයා එසේ පැවසුව ද ඊයේ රාත්‍රියේ අප ලැබූවේ ඊට හාත්පසින්ම වෙනස් අත්දැකීමකි. විශ්වාසභංග යෝජනාව පිළිබඳව ඡන්ද විමසීම අවසන්වී විනාඩි කිහිපයකට පසුව සිරස ප්‍රධාන කාර්යාලය ඉදිරිපිටට රැස්වූ මැර පිරිසක් කළහකාරී ලෙස හැසිරීම නිසා පැයකට අධික කාලයක් News 1st කාර්යය මණ්ඩලය දැඩි දුෂ්කරතාවකට පත්විය. පාර්ලිමේන්තුවේ ඡන්ද විමසීම අවසන්වීමත් සමග රාත්‍රී 10 ට පමණ පැමිණි මැර පිරිසක් කොළඹ බේබෘක් පෙදෙසේ පිහිටි සිරස ප්‍රධාන කාර්යාලය වටකළහ. අප මෙම ප්‍රවෘත්තිය අද අවස්ථා කිහිපයකදී විකාශය කිරීමෙන් අනතුරුව මෙම පිරිස මෙහයවූ මෙම පුද්ගලයා හඳුනාගත් ජනතාව අපගේ ක්ෂණික ඇමතුම් අංකය අමතා මොහුගේ අනන්‍යතාව තහවුරු කළේ ය. එම තොරතුරුවලට අනුව මෙම පුද්ගලයා එක්සත් ජාතික පක්ෂයේ කොළඹ මහනගර සභාවේ නාගරික මන්ත්‍රී කිත්සිරි රාජපක්ෂ නමැත්තායි. මෙම නාගරික මන්ත්‍රීවරයාගේ මෙහෙයවීමෙන් ප්‍රධාන කාර්යාලයේ ඉදිරිපස දොරටුව අවහිර කළ පිරිස පසුව ගිනිකෙළි දල්වමින් තර්ජනය කළේ ය. ප්‍රධාන මාර්ගය ද අවහිර කළ පිරිස දිගින් දිගටම තර්ජනාත්මක ප්‍රකාශ කරමින් කළහකාරී ලෙස හැසිරුණහ. කාර්යාල පරිශ්‍රයට පිවිසෙන දොරටු සියල්ල අවහිර කිරීම නිසා News 1st කාර්ය මණ්ඩලය දැඩි අපහසුතාවකට පත්වූ අතර ආයතන පරිශ්‍රයෙන් පිටවීයාම පවා අවහිර විය. මේ අතරවාරයේ පොලිස් කණ්ඩායමක් පැමිණි අතර ඔවුන්ගේ මැදිහත්වීමෙන් පිරිස පාලනය කිරීමට පියවර ගත්තේ ය. අප උදෑසන සිට වරින්වර විකාශය කළ දර්ශන දුටු ජනතාව අප අමතා දැන්වූ තොරතුරු අනුව කොළොන්නාව නගර සභාවේ උප සභාපති අනුර ලියනගේ මහතා ද සිද්ධිය වන අවස්ථාවේ ප්‍රධාන කාර්යාලය අසලින් ගමන් කරනු දැකගත හැකිවිය. https://www.facebook.com/NewsfirstSL/videos/1901550336571882/