හෙළ සිනමාවේ පියා 99 වැනි වියට පා තබයි

ලොව ජ්‍යෙෂ්ඨතම සිනමාකරු ලෙස්ටර් 99 වැනි වියට පාතබයි

by Sagarika Chathumali 05-04-2018 | 10:21 PM
COLOMBO (News 1st)  : ලොව ජ්‍යේෂ්ඨතම සිනමාකරු ආචාර්ය ලෙස්ටර් ජෙම්ස් පීරිසත් මහතා අද සිය 99 වැනි ජන්ම දිනය සමරයි. ඒ වෙනුවෙන් ඔහුගේ කථා සංකල්පයකට අනුව නිර්මාණය කෙරුනු වෛෂ්ණාවී සිනමාපටය ද අද සිට තිරගත වීම ආරම්භ කළේ ය. 99 වන වියට පා තබන ලෙස්ටර් පිළිබඳ සටහනක්.. 1919 වසරේ අද වැනි දිනක දෙහිවලදී උපන් ලෙස්ටර් ජේම්ස් පීරිස් මහතා කොළඹ ශාන්ත පීතර විද්‍යාලයේ ආදි සිසුවෙකි. වයස අවුරුදු 17දී ඩේලි නිව්ස් පුවත්ප‍තේ මාධ්‍යවේදියෙකු ලෙස වෘත්තිය දිවිය ඇරඹු ඔහු 1947 දී වැඩිදුර අධ්‍යාපනය සඳහා බ්‍රිතාන්‍යයට පිටත්ව ගියේ ය. පත්‍රකලාවේදියෙකු ලෙස වෘත්තීය දිවිය ඇරඹුව ද සිනමාව කෙරෙහි පැවති ඇල්ම නිසා ම ඔහු කෙටි චිත්‍රපට නිර්මාණකරණයට පිවිසියේ තමා සතු ද්විභාෂා දැනුම ද උපයෝගී කර ගනිමිනි. 1956 වසරේ දෙසැම්බර් 29 වෙනිදා රේඛාව චිත්‍රපටය තුළින් ඔහු මහා සිනමා විප්ලවයක ආරම්භය සනිටුහන් කළේ ය. ඔහු ඉතිහාසයට ඒකව සිටින්නේ චිත්‍රාගාර තුළ අමුද්‍රව්‍ය යොදා ගනිමින් මැවුණු කෘත්‍රිම රූ රටා වෙනුවට සිනමා කැමරාව චිත්‍රාගාරයෙන් පිටතට ගෙන ගොස් ස්වභාවිකත්වය සිනමාවට ආරෝපණය කළ පළමු ලාංකීය සිනමාකරුවා ලෙසයි. නව දිල්ලි ජාත්‍යන්තර චිත්‍ර‍පට උළෙලේදී ගම්පෙරළිය චිත්‍ර‍පටය වෙනුවෙන් රණමයුර සම්මානය හිමි කර ගන්නට ඔහු සමත් විය. සංදේශය, ගම්පෙරළිය, රන්සළු, දෙලොවක් අතර, ගොළු හදවත, නිධානය, වෑකන්ද වලව්ව වැනි අනගි නිර්මාණ ලෙස්ටර්ගේ සිනමා චාරිකාවේ මං සලකුණු කිහිපයකි. 1963 වසරේදී ගම්පෙරළිය චිත්‍රපටය නිපදවීමත් සමග ඔහු ආසියාවේ හොඳ ම සිනමාකරුවන් දස දෙනා අතරට ඇතුළත් වු ඔහු 1972 නිර්මාණය කළ නිධානය, ආසියාවේ හොඳ ම චිත්‍රපට දහයට ඇතුළත් විය. රිදී තිරයේ නිර්මාණ තුළින් හැමදාමත් තරුණ ඔහු වයසින් මුහුකුරා ගිය ද එදා මෙදා තුර මෙරට තුළ බිහිවූ අග්‍රගන්‍ය සිනමාකරු ලෙස ලාංකීය ජන මතකයේ සදාතනිකයි. https://www.facebook.com/NewsfirstSL/videos/1901717936555122/