ගෝඨාභය අත්අඩංගුවට ගැනීම: අතුරු තහනම යළි දිගු වෙයි

ගෝඨාභය අත්අඩංගුවට ගැනීම වැළකූ අතුරු තහනම යළි දිගු වෙයි

by Sagarika Chathumali 05-04-2018 | 10:12 PM
COLOMBO (News 1st)  : ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීම වළක්වමින් පසුගිය නොවැම්බර් 9 වන දා අභියාචනාධිකරණය පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට දුන් අතුරු තහනම් නියෝගය ලබන මැයි මස 26 වන දා දක්වා අද යළි දීර්ඝ කෙරිණ. ඩි. ඒ. රාජපක්ෂ අනුස්මරණ කෞතුකාගාරය ඉදිකිරිම සඳහා රජයේ දේපළ යොදා ගත්තේ යැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය තමන් අත්අඩංගුවට ගැනීමට සුදානම් වන බව වසමින් රාජපක්ෂ මහතා මෙම වාරණ නියෝගය ඉල්ලා තිබිණ. ඊට අදාළ පෙත්සම අද අධිකරණය හමුවේ කැඳවනු ලැබී ය. ඝෝඨාභය රාජපක්ෂ මහතා මෙම පෙත්සම ගොනු කර ඇත්තේ පොදු දේපළ පනත යටතේ තමා අත්අඩංගවට ගෙන නීතිමට පියවර ගැනීම වලක්වන නියෝගයක් නිකුත් කරන්නැයි ඉල්ලමිනි. ඒ අනුව පෙත්සම සම්බන්ධයෙන් විභාගයක් පැවැත්වීමට අභියාචනාධිකරණය අද තීරණය කළේ ය. ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගැනීමකින් තොරව සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කිරීමේ අවසරය මූල්‍ය අපරාධ කොට්ඨාසයට ඇති බව පෙන්වා දුන් අභියාචානාධිකරණයේ සභාපති විනිසුරු පී. පත්මන් සූරසේන හා ශිරාන් ගුණරත්න යන විනිසුරු මඩුල්ල ලබන මැයි මස 25 වැනිදා පෙත්සම් විභාගය ආරම්භ කිරීමට තීරණය කළේ ය.