පොලීසියට එරෙහි විරෝධතාවෙන් උණුසුම් වූ ගාන්ධිපුරම්

පොලීසියට එරෙහි විරෝධතාවෙන් උණුසුම් වූ ගාන්ධිපුරම්

by Sagarika Chathumali 02-04-2018 | 7:33 AM
COLOMBO (News 1st)  : උප්පුවේලී පොලීසියට විරෝධය පළ කරමින් ඊයේ රාත්‍රීයේ ප්‍රදේශවාසීන් පිරිසක් වීදි බැසීම හේතුවෙන් ත්‍රිකුණාමලය - කොළඹ ප්‍රධාන මාර්ගයේ ගාන්ධිපුරම් ප්‍රදේශයේ උණුසුම් තත්ත්වයක් ඇති විය. ඊයේ රාත්‍රී 10.30ට පමණ ත්‍රිකුණාමලය , ගාන්ධිපුරම් ප්‍රෙදේශයේ ජනතාව ප්‍රධාන මාර්ගයට එක්ව පොලීසියට එරෙහිව විරෝධය පළ කර සිටියේ, ප්‍රදේශයේ ක්‍රියාත්මක අපරාධ කල්ලියක් අත්අඩංගුවට නොගන්නා බවට චෝදනා කරමිනි. මෙම කල්ලිය ඊයේ සවස කඩු සහ ආයුද රැගෙන ගාන්ධිපුරම් ප්‍රදේශයේ නිවසකට ඇතුළු වී එම නිවැසියන්ට පහර දී තිබේ. අනතුරුව නිවසේ තිබූ ත්‍රී රෝද රථයකට සහ තවත් භාණ්ඩ කිහිපයකට ද හානි සිදු කර පළා ගොස් ඇති බව ප්‍රදේශවාසූහු පැවසූහ. මෙම සිද්ධිය පිළිබඳව උප්පුවේලි පොලීසියට පැමිණිලි කළ ද , සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට පොලීසිය ක්‍රියාත්මක නොවන බව පවසමින් ප්‍රදේශවාසීන් විරෝධය පළ කිරීමත් සමග නොසන්සුන් තත්ත්වයක් ඇති විය. ප්‍රදේශවාසීන් පවසන්නේ, මෙම කල්ලිය කලක පටන් ප්‍රදේශයේ මත්ද්‍රව්‍ය සහ තවත් අපචාරවලට සම්බන්ධ බවයි. මේ පිළිබඳ කිහිප විටක් පොලීසිය දැනුවත් කළ ද තවමත් මෙම කල්ලිය අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු නොකරන බවට ප්‍රදේශවාසීහු චෝදනා කරති. කෙසේ වෙතත් පසුව මෙම සැකකරුවන් අත්අඩංගුවට ගන්නා බවට පොලීසිය ලබා දුන් පොරොන්දුවත් සමග උද්ඝෝෂකයෝ විසිර ගියහ.