දැඩි උණුසුම් කාලගුණ තත්ත්වය අවසන් වන්නේ කවදාද?

දැඩි උණුසුම් කාලගුණ තත්ත්වය අවසන් වන්නේ කවදාද?

by Chathuranga Rajapaksha 02-04-2018 | 10:45 PM
COLOMBO (Newsfirst) - දැඩි අව් රශ්මිය, මේ දිනවල කාගේත් කතාබහට ලක්ව ඇති මාතෘකාවකි. කොළඹ, අනුරාධපුරය, කුරුණෑගල, මහනුවර, මාතර සහ හම්බන්තොට ඇතුළු දිවයිනේ ප්‍රදේශ රැසක ජනතාව දැඩි අව් රශ්මිය හේතුවෙන් පීඩා විඳින අයුරු අපට දැකගත හැකි විය. මිනිසුන්ට පමණක් නොව සතුන්ටද මෙය එක සේ පීඩාවකි. නමුත් උණුසුම් කාලගුණය නිසා පළතුරු බීම වෙළඳාමටනම් තිබෙන්නේ සෑහෙන ඉල්ලුමකි. මේ දිනවල දහවල් සහ රාත්‍රි කාලයේ පවතින දැඩි උණුසුම් තත්ත්වයට හේතුව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්. ප්‍රේමලාල් මහතාගෙන් අප විමසීමක් කළේය. සූර්ය විකිරණ වැඩිපුර ලැබීම හේතුවෙන් ඊට සමාන්තරව උෂ්ණත්වය ඉහළ ගොස් ඇති බව එස්. ප්‍රේමලාල් මහතා පවසයි. නාගරික ප්‍රදේශවල කොන්ක්‍රීට් ගොඩනැගිලිවලට දහවල් කාලයේදී උරා ගන්නා හිරු රශ්මිය රාත්‍රි කාලයේදී පිට කිරීම හේතුවෙන් රාත්‍රි කාලය වෙනදාට වඩා උණුසුම් බව එස්. ප්‍රේමලාල් මහතා කියා සිටියේය. මැයි මාසයේ නිරිතදිග මෝසම ආරම්භයත් සමග මෙම දැඩි උණුසුම් කාලගුණ තත්ත්වය පහව යනු ඇතැයි කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් එස්. ප්‍රේමලාල් මහතා වැඩි දුරට ත් සඳහන් කළේය. දැඩි උණුසුම මිනිසාගේ ශරීර සෞඛ්‍යට බලපාන්නේ කෙසේද? මේ පිළිබඳව අප දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ කායික රෝග විශේෂඥ වෛද්‍ය දිල්හාර් සමරවීර මහතාගෙන් විමසීමක් කළ විට ඔහු පැවසුවේ මේ දිනවල හිරු රශ්මියට නිරාවරණය වී සිටින්නේ නම් වඩාත් හොඳ බව ය. ඊට අමතරව වැඩිපුර පානීය ජලය භාවිත කරන ලෙස ද වෛද්‍ය දිල්හාර් සමරවීර මහතා උපදෙස් ලබා දුන්නේය. https://www.youtube.com/watch?v=OaTWszFVpV8