රනිල් අඩියක් පස්සට නොගත්තොත් මොක ද වෙන්නෙ?

අඩියක් පස්සට නොගත්තොත් රනිලුත් 'සොල්' පක්ෂයත් 'සොල්' SOL - "Shit Out of Luck."

by Staff writer 02-04-2018 | 2:26 PM
සුරේඛා සමරසේන සාමාන්‍යයෙන්, ආණ්ඩු පක්ෂයකට හෝ අගමැතිවරයෙකුට හෝ ආණ්ඩුවේ අමාත්‍යවරයෙකුට එරෙහිව, විපක්ෂයක් විසින් ගෙන එනු ලබන විශ්වාසභංගයක් ජයග්‍ර‍හණය කරන්නට නොහැකි වුණොත් එය එම විශ්වාසභංගය ගෙන ආ විපක්ෂයට 'පාරා වළල්ලක්' වනු ඇත. මක්නිසා ද යත් එහිදී ආණ්ඩුවේ හෝ අගමැතිවරයාගේ හෝ ඇමතිවරයාගේ ‘විශ්වාසය වඩාත් හොඳින් ම තහවුරු වූ බවක් හැඟවෙන නිසා ය. නමුත් අප්‍රේල් 4 වන දා පාර්ලිමේන්තුවේ විවාදයට සහ ඡන්ද විමසීමට භාජනය වන්නට නියමිත 'අගමැති රනිල්' ට එරෙහි 'විශ්වාස භංගය' එවැනි සාමාන්‍ය විශ්වාසභංගයක් නොවේ. එය ඉදිරිපත් කරන විපක්ෂය, දිනුවත් දිනුම් - පැරදුණත් දිනුම් වර්ගයේ සුවිශේෂී විශ්වාස භංගයක් වන්නේ, එය ගෙන එන 'දේශපාලන සන්දර්භය' අගමැතිවරයාට අතිශයින් ම අවාසි සහගත වන නිසා ය. එක් අතකින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය විසින් කේවල් කරමින් සිටින ජාතික ආණ්ඩුව අස්ථාවර ය. අනෙක් අතට නිදහස් පක්ෂයේ සභාපති ද වන ජනාධිපතිවරයාට යම් යම් කරුණු මත අගමැතිට 'විරුද්ධ නොවී බැරිය'. මේ අතර එක්සත් ජාතික පක්ෂයේ ම සැලකිය යුතු බහුතරයක් පක්ෂ නායකයා /අගමැතිවරයා සමග නයි වෛරී ය. ඊට අමතරව ඉකුත් දා පැවති පළාත් පාලන මැතිවරණයේදී අගමැතිවරයාගේ නායකත්වයෙන් තරඟ වැදුණු එක්සත් ජාතික පක්ෂය අන්ත පරාජිත ය. ගාල්ල මීගමුව බදුල්ල වගේ දිනාගත් පළාත් පාලන ආයතනවල ද සභිකයින් පත් වෙද්දී ම නොපිට පෙරළී ගියේ ය. පිළිවෙළින් පළාත් සභා මැතිවරණයක්, මහ මැතිවරණයක් සහ ජනාධිපතිවරණයක් පෝළිමේ ය. ජනතා විමුක්ති පෙරමුණ, මහින්ද පිළ සමග කුමන නොඑකඟතා තිබුණ ත්, විශ්වාසභංගයේ කරුණු 13 ට හරයාත්මක වශයෙන් එකඟබව සහ ඊට පක්ෂව ඡන්දය දෙන බව පවසා ඇත. මේ අතර එක්සත් ජාතික පෙරමුණෙන් පාර්ලිමේන්තුවට තේරී පත් ව ආ අතුරලියේ රතන හිමි, විජේදාස රාජපක්ෂ, වසන්ත සේනානායක, පාලිත රංගේ බණ්ඩාර ඇතුළු තවත් කිහිප දෙනෙකු ම විශ්වාසභංගයට පක්ෂ බව ප්‍ර‍සිද්ධියේ ම කියා ඇත. සැබැවින් ම අගමැතිවරයාට එරෙහිව විශ්වාසභංගයක් ඔහුගේ ම පක්ෂයෙන් ම ඉදිරිපත් වන්නට ගිය බව ද අමතක නොකළ යුතු ය. අංක ගණිතය දැනට ස්වාධීනව සිටින සහ විශ්වාසභංගයට සහය ඵල කරන බව සපථ කර ඇති අතුරලියේ රතන හිමි සහ විජේදාස රාජපක්ෂ හැරුණු කොට, විශ්වාසභංගයට එරෙහිව ඡන්දය දෙන්නට එ.ජා.පෙ.ට සිටින්නේ, මන්ත්‍රීවරුන් 105 ක් පමණි. නිදහස් පක්ෂයේ තීරණය මත ආණ්ඩු පක්ෂ එ.ජ.නි.ස. පිළ විශ්වාසභංගයට පක්ෂ වන්නට තීරණය කළ හොත් ඒකාබද්ධ විපක්ෂයේ එ.ජ.නි.ස. පිරිස (95)සහ ඊ.පී.ඩී.පී මන්ත්‍රීවරයා ද ඇතුළත් වන සමස්තය 96 කි. විශ්වාසභංගයේදී ජ.වි.පෙ. ඊට පක්ෂව ඡන්දය දෙන බව ප්‍ර‍කාශ කර ඇති අතර, එතැන මන්ත්‍රීවරුන් 6 දෙනා ද පෙර කී 96 ට එකතු විය යුතු ය. එවිට විශ්වාසභංගයට පක්ෂවීමට මන්ත්‍රීවරුන් 102 ක් සිටී. අනිවාර්යයෙන් ම ආණ්ඩු පක්ෂයෙන් සුළු හෝ පිරිසක් මීට සහය ඵල කරතැ‘යි සිතියහොත්, ඒ ගණන කුඩා වුවත්, විශ්වාසභංගයට පක්ෂ ‘සරල බහුතරයක්‘ සාදාගැනීම අසීරු නැත. ඉහත ගණනය සම්පූර්ණයෙන් ම දෙමළ ජාතික සන්ධානයේ මන්ත්‍රීවරුන් 16 නොතකා හරිමිනි. මේ 16 දෙනා 'විශ්වාසභංගයට' පක්ෂ වෙතැ‘යි සිතිය නොහැකි වුවත්, එම කණ්ඩායම තුළ මේ වන විටත් පවතින මතවාදී නොඑකඟතා මත ඔවුන් අතරින් කිහිපදෙනෙක්වත්, ඡන්දය භාවිතයෙන් වැළකී සිටින්නට ඉඩ තිබිය හැක. මෙය ඔවුන් කණ්ඩායමක් වශයෙන් ද එළඹෙන්නට හැකි 'තීරණයක්' ද විය හැක. කෙසේ වෙතත්, මේ විශ්වාසභංගයේදී දෙමළ ජාතික සන්ධානයට විශාල කාර්යභාරයක් ඇත. ඒ ඔවුන්ගේ ඡන්ද 16 ‘අතිශයින් ම තීරණාත්මක‘ ලෙස බලපාන නිසා ය. එසේ ‘තීරණාත්මක බලපෑමක්‘ සිදු කරන්නට හැකි අනෙක් කණ්ඩායම, එක්සත් ජාතික පෙරමුණ තුළ සිටින ‘එක්සත් ජාතික පක්ෂයට හෝ ශ්‍රී ලංකා නිදහස් පක්ෂයට‘ අයත් නැති, සංඛ්‍යාවෙන් 22 ක් වන සුළු පක්ෂ - මන්ත්‍රී කණ්ඩායම ය. ඇත්තෙන් ම හැම දෙනෙක් ම දෙමළ ජාතික සන්ධානය දෙස බලා සිටියත්, මේ කණ්ඩායම පිළිබඳ ඒ තරම් උනන්දු වන්නේ නැත. ඇත්තටම ඔවුන්, විශ්වාසභංග කාරණයේදී, දැනටමත් ‘තීරණාත්මක ලෙස බලපාන්නට‘ පටන් ගෙන ඇත්තේ අගමැතිවරයා වෙත, එක්තරා කොන්දේසියක් ඉදිරිපත් කරමිනි. ඔවුන් පෙන්වා දී ඇත්තේ, මෙහිදී රනිල් අගමැති ධුරයෙන් ඉවත් විය යුතු බවත්, ඒ වෙනුවට එ.ජා.ප.යෙන් වෙනත් අගමැතිවරයෙකු පත් කළ යුතු බවත් ය. එහිදී ඔවුන්ගේ තීරණය සාධාරනීකරණය කරන්නේ, විශ්වාසභංගයේ ජය තහවුරු කරගනිමින් මහින්ද රාජපක්ෂ කඳවුර වඩා බලවත් වීමට බලපෑ හැකි විය හැකි භාවයේ අවදානම භාරගතයුතු බව සහ අගමැතිවරයා විසින් ජාතික ආණ්ඩුවට විය හැකි හානිය අවම කරගැනීමට පියවර ගත යුතු බවයි. කෙසේ වෙතත්, අගමැතිවරයා මෙම කෝන්දේසිය නොසලකා හැරියහොත්, මෙකී 22 දෙනාගේ කණ්ඩායමේ සිටින මනෝ ගනේෂන් වැනි කිහිපදෙනෙකු හැර සෙසු පිරිස ද ඡන්දය භාවිතයෙන් වැළකී සිටින්නට ඉඩ ඇත. මක්නිසාදයත්, ඉදිරි මහ මැතිවරණයකුත් මුව විටේ තබාගෙන ඔවුන්ගේ යහපාලන -සුජාතභාවය විනාශ කරගැනීම එතරම් ප්‍ර‍ඥාගෝචර නැති බැවිනි. එමෙන් ම මෙය අගමැතිවරයාට ගන්නට බැරි තීරණයක් ද නොවන්නේ එය කාලාන්තරයක් තිස්සේ ම ඔහුගේ ම පක්ෂයේ ද ඉල්ලීමක් ලෙස ඉස්මතුවූවක් වන නිසා ය. ඊට අමතරව ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, පක්ෂයක් හැටියට, ‘විශ්වාසභංගයට‘ සහය ඵලකරන තීරණයක් ගත හැකි බව මේ වන විට ස්ථිර වන නමුත්, නැවත මහින්ද සමඟ වැඩ කරන්නට හිතන්නට බැරි දුමින්ද දිසානායක වැනි කිහිප දෙනෙකු ‘එ.ජා.ප.යට හේත්තු වීමේ අරමුණින්, විශ්වාසභංගයට විපක්ෂව ඡන්දය දීමට හෝ ‘ඡන්දයෙන් වැළකී සිටීමට ඉඩඇත. අප්‍රේල් 4 වැනිදායින් පසුව කෙසේ වෙතත්, විපක්ෂය 'දිනුවත් දිනන - පැරදුනත් දිනන' මෙකී විශ්වාසභංගය එය ගෙන එන මහින්ද රාජපක්ෂ කඳවුර සතුව දැනට ඇත්තේ, ඒකාබද්ධ විපක්ෂය ලෙස සන්ධානගත වූ ආසන 52 ක බලයකි. විශ්වාසභංගය දිනුවත් පැරදුනත් අප්‍රේල් 5 න් පසුව, එය සංඛ්‍යාත්මකව ඉහළ යා හැකි ය. එවිට ඔවුන් ඊ ළඟ මැතිවරණයකට මුහුණ දෙන්නේ, වඩා බලවත් කණ්ඩායමක් වශයෙනි. එමෙන් ම දිගින් දිගට ම පාර්ලිමේන්තුව තුළ ද ආණ්ඩුවට එරෙහි ඔවුන්ගේ 'කේවල් කිරීම්' වැඩි වනු ඇත. මේ අතර විපක්ෂයට විශ්වාසභංගය ජයග්‍ර‍හණය කළ හැකි වෙතොත්, ආණ්ඩු මාරුවක් සිදු වනු ඇත. එක්සත් ජාතික පක්ෂය සිටින්නේ, විශ්වාසභංගය හේතුවක් නොවී පවා උග්‍ර‍ අර්බුදයක ය. නායකත්වය ඇවිදින ‘මළ මිනියක්‘ බවට පත්ව ඇති බැවින් සහ පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම පුවක් වල්ල පොළවේ ගැසුවාක් මෙන් සී සී කඩ ව සිටින බැවිනි. ඉතිං යම් හෙයකින්, දෙමළ ජාතික සන්ධානයේ සහය ලබා හෝ නොලබා, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ කරුණාව ලබා හෝ නොලබා, පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම විශ්වාසභංගයට විරුද්ධව ඡන්දය දී හෝ නොදී යන කවරාකාරයේ තත්වයක් යටතේ වුවත්, යටත් පිරිසෙයින් සිදු විය හැකි කුමන හෝ යහපත් ආශ්චර්යයක් පදනම් කරගෙන අගමැතිට එරෙහි විශ්වාසභංගය පරාජය කළත්, නැවතත් ඔවුන්ට පක්ෂයේ අභ්‍යන්තර ගැටලු සමග තවදුරටත් හිර වී සිටින්නට සිදු වනු ඇත. එහෙයිනි, මේ විශ්වාසභංගය පරාජය කරන්නට හැකි වුවත් එක්සත් ජාතක පක්ෂයට අවසාන විග්‍ර‍හයේදී නියත පරාජය ම අත් වනු ඇත්තේ. රනිල් යනු කවරෙක් ද? පක්ෂයක් විසින් එක්සත් ජාතික පක්ෂයට ලැබුණු කෑදර ම කෑදර සහ දඩබ්රම නායකයා ය. එමෙන් ම අතිශයින් ම අසාර්ථක ම නායකයා ද විය හැකි ය. පක්ෂය තුළ ඉතා දිගු කාලයක් තිස්සේ අත්තනෝමතික ලෙස බලය ‘දුර්-භාවිත‘ කිරීමේ ප්‍ර‍තිඵලයක් ලෙස පක්ෂය අභ්‍යන්තරික වශයෙන් පිරිහුණා පමණක් නොව, බාහිරින් ජනතා ආකර්ශනයෙන් ද පිරිහුණේ ය. 1994 සිට 2018 දක්වා අවුරුදු 24 ක් මුළුල්ලේ පක්ෂය තුළ නායකත්වය උසුලමින්, ආ ගමන තුළ මුළු අවුරුදු 24 ට ම, හතර වතාවක් අගමැති ධුරය දරන්නට අවස්ථාව උදා කරගත්තේ ය. ඒ පළමුවෙන් ම ප්‍රේමදාස ජනාධිපතිවරයාගේ හදිසි මරණයෙන් පසුව 1993 අවුරුද්දේ දී තුන් මාසයකට ය. ඉන්පසුව පැවැති 1994 මහ මැතිවරණයේදී එක්සත් ජාතික පක්ෂයට දිනාගත හැකි වූයේ ආසන 94 ක් පමණි. 2001 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂය ආසන 109 ක් ලබාගත් අවස්ථාවේදී නැවතත් අගමැතිවරයා බවට පත් වූ නමුත්, 2004 දීත් මෙවැනි ම අප්‍රේල් මාසයක හරියටම කිව්වොත් අප්‍රේල් 6 වැනිදා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ම ජනාධිපතිනියක වූ චන්ද්‍රිකා බණ්ඩාරණායක විසින් පාර්ලිමේන්තුව විසුරුවා හැරීම හේතුවෙන් ආණ්ඩු බලය ද අගමැතිකම ද යන දෙකම අහිමි කරගත්තේ ය. ඉන් පසුව පැවැති 2004 මහ මැතිවරණයෙන් එක්සත් ජාතික පක්ෂයට ලබා ගත හැකි වූයේ ආසන 82 ක් පමණි. 2010 මහ මැතිවරණයේදී තත්ත්වය තවත් නරක අතට හැරුණු අතට එක්සත් ජාතික පක්ෂය ආසන 60 ට බැස්සේ ය. නැවතත් 2015 ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ ජයග්‍ර‍හණය මුවාවෙන් නිකම්ම අගමැතිකමට පත්වූ අතර ඒ අනුහස පාවිච්චි කරමින්, නැවතත් අවුරුදු 14 කට පසුව එක්සත් ජාතික පක්ෂය ප්‍ර‍ධාන 'සම්මුති ආණ්ඩුවක්' පිහිටුවාගෙන අගමැතිකමට පත් විය. කනගාටුව නම්, ඔහුගේ මේ ධුර කාලය අවසන් වන්නට යන්නේ ත්, පරිණත දේශපාලන නායකයෙකුගේ වගේ නොවීම ය. ඔහුට පටබැඳි නමක් වූ 'මිස්ටර් ක්ලීන්' යන්න මිථ්‍යාවක් බවට පත් කළ 'දූෂණ චෝදනා' ඇතිව ය. විශ්වාසභංගය දිනුවත් පැරදුණ ත්, එහි ඇති චෝදනා සියල්ල ම 'ඇත්ත' ය. පක්ෂ නායකකමක් එක්ක මේ තරම් බලය දුර්භාවිත කළ අයෙක් නැති තරමට ඉතිහාසගත වෙමින්, යම් හෙයකින් විධායක ජනාධිපතිකමක් ලැබුවේ නම් කුමකින් කුමක් කරගනී ද? යන ජනතා සැකය ද සාධාරනීකරණය කරමිනි. ඔහුගේ බලලෝභය සහ අත්තනෝමතික දඩබ්බරකම් නිසා පක්ෂය දිගින් දිගටම පිරිහුණේ ය. හිතුවක්කාරී ලෙස, රෝයල් මිතුරන්ගේ - ආර්ථික කමිටුව හෙවත් චන්ද්‍රිකාගේ කිචන් කැබිනට් එක වගේ එක මගින් රටට බලපාන සියලු වැදගත් තීන්දු තීරණ ගන්නට තරම් ම දඩබ්බර විය. එය එක්සත් ජාතික පක්ෂයේ ජ්‍යෙෂ්ඨ ඇමතිවරුන්ගේ දැඩි පිළිකුලට හේතු විය. දැන් ඒ සියල්ල ම නිසා, ආණ්ඩුව ද පක්ෂය ද පමණක් නොව තමාගේ නමට ඉතිරිව තිබුණු යම් ගුණයක් වේ නම් එය ද යන සියල්ල එක ම වළක වළලාගන්නට තතනන, 'රනිල්' යනු, තාර්කික හෝ යථාභූත ඥාණ විභාගයකින් විසඳාගන්නට බැරි, ඒ වෙනුවට ‘මනෝ විශ්ලේෂණය‘ වැනි ප්‍රවේශයකින් විසඳාගන්නට සිදුවන වර්ගයේ ‘අසාර්ථක සහ දඩබ්බර දේශපාලන නායකයෙකු ය කීම නිවැරදි ය.