ඩේවිඩ් වෝනර් ක්‍රිකට් පිටියෙන් සමුගනී

ඩේවිඩ් වෝනර් හඬා වැළපෙමින් ජාත්‍යන්තර ක්‍රිකට් පිටියෙන් සමුගනී

by Chathuranga Rajapaksha 01-04-2018 | 7:52 AM
හිටපු ඔස්ට්‍රේලියා ක්‍රිකට් උප නායක ඩේවිඩ් වෝනර් ජාත්‍යන්තර තරග බිමෙන් සමු ගත්තේය. ඔහු මේ බව නිල වශයෙන් නිවේදනය කළේ සිඩ්නිහිදී ඊයේ පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි. දකුණු අප්‍රිකාවේ තරග සංචාරයක නිරත ඔස්ට්‍රේලියා කණ්ඩායම නිමා වූ තුන්වැනි ටෙස්ට් තරගය අතරතුර පන්දුව පළුදු කළ බවට තහවුරු වීමත් සමග එම කණ්ඩායම පිළිබඳව ලොව පුරා අවදානය යොමු විය. ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය එරට හිටපු ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත්, උප නායක ඩේවිඩ් වෝනර් සහ පන්දුව පළුදු කිරීම සිදු කළ කැමරන් බැන්ක්‍රොෆ්ට් තරග තහනමකට ලක් කළේ ඉන් අනතුරුවයි. එම සිදුවීමෙන් අනතුරුව ඩේවිඩ් වෝනර් ඊයේ මාධ්‍ය හමුවේ අදහස් පල කළේය. "එම අවස්ථාවේදී මං සිදු කළ වරද පිළිබඳව වගකීම මම භාර ගන්නවා. සමාව අයැදිනවා. ඔස්ට්‍රේලියා ක්‍රිකට් උප නායක ලෙස මගේ වගකීම ඉටු කරන්න මට බැරි වුණා. කවදාහරි දවසක මගේ රට නැවත නියෝජනය කරන්න ලැබෙයි කියන බලාපෙරොත්තුව මට තියෙනවා. නමුත් මං තරග බිමෙන් සමුගන්නේ එවැනි අවස්ථාවක් නොමැති බවට හොඳින්ම අවබෝධ කරගෙනයි. අපේ රටේ බලාපොරොත්තු බිඳ දැමුවා. වැරදි තීරණ ගත්තා. මමත් එහි කොටස්කරුවෙක් වුණා. අපිට නැතිවුණ ගෞරවය ඔස්ට්‍රේලියා ජනතාවගෙන් නැවත දිනා ගන්න අපිට ගොඩාක් කල් යයි. මෙම අවස්ථාවේ මෙතෙන වාඩි වෙලා ඉන්න එකත් අමාරුයි. මගේ පවුලෙන්, විශේෂයෙන්ම බිරිඳගෙන් සහ දියණියන්ගෙන් සමාව ගන්න මට අවශ්‍යයි" https://www.facebook.com/NewsfirstSL/videos/1896111743782408/   31 හැවිරිදි ඩේවිඩ් වෝනර් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වසර 9ක පමණ කාලයක් ජාත්‍යන්තර තරග නියෝජනය කර තිබේ. ඔහු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් වරම් වර්ෂ 2009දී දකුණු අප්‍රිකාවට එරෙහිව දිනා ගත්තේය. ඔහු සිය මංගල ජාත්‍යන්තර ටෙස්ට් තරගය 2011 වර්ෂයේදී නවසීලන්තයට එරෙහිව ක්‍රීඩා කළේය. ඒ අනුව ටෙස්ට් තරග 74කට ක්‍රීඩා කර ඇති වෝනර් ලබා ඇති ලකුණු ගණන 6363කි. ඊට අර්ධ ශතක 29ක් සහ ශතක 21ක් ඇතුළත්ය. ටෙස්ට් ඉනිමක ඔහුගේ වැඩිම ලකුණු ගණන 253කි. එක්දින ජාත්‍යන්තර තරග 106ක් ක්‍රීඩා කර ඇති වෝනර් ලබා ඇති ලකුණු ගණන 4343ක් වන අතර ඊට අර්ධ ශතක 17ක් සහ ශතක 14ක් ඇතුළත්ය. එක්දින තරගයක ඔහුගේ වැඩිම ලකුණු ගණන 179කි. වෝනර් පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරග 70ක් ක්‍රීඩා කර ලබා ඇති ලකුණු ගණන 1792කි. ඊට අර්ධ ශතක 13ක් ඇතුළත් අතර ඉනිමක වැඩිම ලකුණු ගණන 90කි.ஈ