පාස්කු ඉරිදා දිනය අද යි

කිතු සමිදානන් මරණයෙන් උත්ථානය වීම සැමරෙන පාස්කු ඉරිදා දිනය අද යි

by Hashini De Mel 01-04-2018 | 8:00 PM

COLOMBO (News 1st) - කිතු සමිඳානන් මරණයෙන් උත්ථානවීම සැමරෙන පාස්කු ඉරිදා දිනය අදට යෙදී තිබේ.

වසර 1990 කට පමණ පෙර ජෙරුසලම් නුවර කල්වාරි කන්දේදී කුරුසියේ පත් ජේසූස් ක්‍රිස්තූස් වහන්සේ අද වැනි දිනක උත්ථාන වී සිය අනුගාමිකයින්ට දර්ශනය වූ බව කිතුණු විශ්වාසයයි. ඒ අනුව ලොව පුරා කිතුණු ජනතාව පාස්කුව සමරනුයේ ජේසු සමිඳානන් සිය පූජාවෙන් ලෝකයා ගලවා ගැනීම සිහිපත් කරණු පිණිස ය. කුරුසයේ ඇණ ගැසීමේ දුක්ප්‍රාප්තියේ සිට පාස්කු ඉරිදා උත්ථානය දක්වා වන පාස්කු මංගල්‍යය අදින් අවසන් වන අතර දිවයින පුරා දේවස්ථානවලදී අද විශේෂ දේව මෙහෙයන් පැවැත්විණි. මේ අතර පාස්කු ඉරිදා විශේෂ දේව මෙහෙය වතිකානුවේදී පැවැත් වූයේ, අතිඋතුම් ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් හිමිපාණන්ගේ ප්‍රධානත්වයෙනි. පවතින අමිහිරි අත්දැකිම් මධ්‍යයේ ලෝකයට නව නැගිටීමක් අවශ්‍ය බව, ශුද්ධෝත්තම හිමිපාණන් මෙහිදී පවසා ඇත. පාස්කු දිනය නිමිත්තෙන් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන නිවේදනයක් නිකුත් කරමින් පවසා ඇත්තේ, ස්වර්ග රාජයයක් උදෙසා පාස්කුව විසින් අපට විවිර කර දෙනු ලබන කවුළුවෙන් අලුත් හෙටක් දකින්නටත් මනුෂත්වය පිළිබඳව අලුතින් සිතන්නටත් අප සෑම අදිටන් කරගත යුතු බවයි. ජාති ආගම් කුල පක්ෂ පන්ති ලෙසින් පිල් බෙදී ඇන කොටා ගැනීම වෙනුවට ක්‍රිස්තූන් වහන්සේ පෙන්වා දුන් විමුක්තිදායක ප්‍රේමය තුළ ජීවත්වන්නට අදිටන් කර යුතු බව අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සිය පාස්කු දින සුබ පැතුම් පණිවිඩයෙන් සඳහන් කර ඇත. මේ අතර විපක්ෂ නායක ආර්. සම්බන්ධන් මහතා ද පාස්කු දිනය නිමිත්තෙන් සුබ පැතුම් එක් කර තිබේ. පාස්කු පණිවිඩය තුළින් පිළිඹිඹු වන අපේක්ෂාව ජීවිත නැවත ගොඩ නගා ගැනීම සහ දයානුකම්පාව වැනි ගුණාංග අප තුළට එක්කර ගනිමින් විවිධත්වය සහ සමානාත්මතාවය තහවුරු වූ රටක් ගොඩනගාගත යුතු බව ඔහු සිය පණිවිඩයෙන් පෙන්වා දෙනු ඇත.