ස්ථානාධිපතිවරු මාරු කළේ දේශපාලකයින් සැනසීමටද?

ස්ථානාධිපතිවරුන් වහා ම ස්ථාන මාරු කළේ, දේශපාලකයින් සැනසීමට ද?

by Sagarika Chathumali 31-03-2018 | 8:43 PM
COLOMBO (News 1st )  : වහා ම ක්‍රියාත්මක වන පරිදි පොලිස් ස්ථානාධිපතිවරුන් සිව් දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී තිබේ. පොලිස් මාධ්‍ය ප්‍රකාශක, පොලිස් අධිකාරි රුවන් ගුණසේකර මහතා සඳහන් කළේ, ජාතික පොලිස් කොමිසමේ අනුමැතිය ද ඇතිව සේවා අවශ්‍යතා මත මෙම ස්ථාන මාරුවීම් සිදු කර ඇති බවයි. ඒ අනුව ස්ථානමාරුවීම් ලබා දී ඇත්තේ, නාවලපිටිය,හෙට්ටිපොල, බුලත්සිංහල, කොත්මලේ පොලිස් ස්ථානාධිපතිවරුන්ටයි. මේ අතරින් නාවලපිටිය පොලිස් ස්ථානාධිපතිවරයා ස්ථාන මාරු කරන ලෙස එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රි ආනන්ද අලුත්ගමගේ මහතා පසුගිය 10 වන දා නාවලපිටිය පොලිස් ස්ථානය ඉදිරිපිට විරෝධතාවක ද නිරත විය. ඒ, වසා තිබූ ඉන්ධන පිරවුම්හලක් විවෘත කර මන්ත්‍රීවරයාට ඉන්ධන ලබාදීමට පොලීසිය කටයුතු නොකළ බවට චෝදනා කරමිනි. එම අවස්ථාවේ ඔහු රජයේ යම් ප්‍රධානියෙකුට දුරකතනය ඇමතුමක් ද ලබා දී තිබිණ. නව ස්ථානමාරු වීම් ලබා දී ඇති බුලත්සිංහල පොලිස් ස්ථානාධිපතිවරයාට එරෙහිව එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරන නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම මහතාද පෙබරාවරි මස 10 වන දා සිට දින 05ක කාලයක් බුලත්සිංහල නගර මධ්‍යෙය් විරෝධතාවක නිරත විය.