News 1st : ත්‍රස්ත ප්‍රහාරයකට ලක්ව ජීවිතය බේරා ගත් නොබෙල් සාම ත්‍යාගලාභීනි මලාලා යූසෆ්සායි පළමු වරට යළි මව් රටට පැමිණ තිබේ.
2012 වසරේ ඔක්තෝබර් මාසයේදී තලේබාන් කැරලිකරුවන්ගේ වෙඩි ප්‍රහාරයට ලක් වීමෙන් බරපතළ තුවාල ලබා වැඩිදුර ප්‍රතිකාර සඳහා බ්‍රිතාන්‍යයට රැගෙන ගිය ඇය අද සිය මව් රට වන පාකිස්ථානයට පැමිණියා ය.
විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, මලාලා සහ ඇයගේ පවුලේ සාමාජිකයින් රැගත් හෙළිකොප්ටර් යානය දැඩි රැකවල් මධ්‍යයේ ඇය ජීවත් වූ නගරයට සමීපයේ පිහිටි මින්ගෝරා වෙත ගොඩ බැස්ස වූ බවයි.
2012 වසරේ යුද බලකොටුවක් වූ ස්වාත්හිදී තලේබාන් කැරළිකරුවන් ඉලක්කයක් බවට පත් වූ ඇය අද යළි මව් රට පැමිණෙන්නේ, 20 හැවිරිදි තරුණියක ලෙසිනි.
යළි මව් රට යාමට හැකි වීම පිළිබඳ අදහස් දක්වමින් මාලාලා පවසා ඇත්තේ, උපන් බිමේ යළි පා තැබිමට අවස්ථාව උදා වීම පිළිබඳ මහත් සේ සතුටට පත්ව සිටින බවයි.
මලාලාට වෙඩි.....
පකිස්ථානයේ ගැහැනු දරුවන්ගේ අධ්‍යාපන අයිතිය වෙනුවෙන් පෙනී සිටි මලාලා තලේබාන් සංවිධානයේ වෙඩි ප්‍රහාරයට ලක් වූයේ ඇය පාසල් ගොස් යළි එමින් සිටියදී ය.
ප්‍රසිද්ධියේ පවා ඒ සම්බන්ධයෙන් අදහස් පළ කිරිමට නොපැකිළුණු ඇය 2012 වසරේ ඔක්තෝබර් මස දිනක පාසල නිමවී යළි නිවසට යාම සඳහා බස් රථයට ගොඩ වූවා ය.
පසුව එකවර බස් රථයට කඩා වැඳුණු ත්‍රස්තවාදීන් මාලාලා කවුදැයි, අසමින් ඇයගේ හිසට වෙඩි තබා තිබිණ.
මෙම ප්‍රහාරයෙන් බස් රථයේ සිටි ඇයගේ තවත් යෙහෙළියන් දෙදෙනෙක් ද තුවාල ලැබූහ.
පසුව තලේබාන් සංවිධානය පැවසුවේ, මලාලා පකිස්ථානය තුළ බරහිට සංස්කෘතිය ප්‍රචාරය කිරිමට ක්‍රියා කිරීම හේතුවෙන් ඇයට මෙම ඉරණම අත් වූ බවයි.

මලාලා යූසෆ්සායි 2014 වසරේ නොබෙල් සාම ත්‍යාගයෙන් පිදුම් ලැබූ අතර ඒ අනුව 17 වියේදී සාම ත්‍යාගලාභිනියක වන ඇය එම ත්‍යාගය ලැබූ ලාබාලතම පුද්ගලයා ලෙස ඉතිහාසයට එක්ව සිටින්නී ය.
බරපතළ තුවාල ලබා සුව වූ ඇය තවදුරටත් සිය අරමුණ වෙනුවෙන් ක්‍රියා කිරීම අත්හැර නොමැති අතර බ්‍රිතාන්‍යයේ ජීවත් වෙමින් මලාලා පදනම පිහිටුවන්නේ, ලොව ඕනෑම තැනක ගැහුණු දරුවන්ට කිසිදු බියකින් තොරව අධ්‍යාපනය හැදෑරිම සහ ඉදිරියට යාමේ අයිතිය රැක දීම වෙනුවෙනි.
උපාධිය නිම කිරීමෙන් පසු යළි පකිස්ථානයේ ස්ථීර පදිංචියට පිටත්ව යන බව මලාලා පවසන්නේ, උපන් බිමේදී ඝාතනයට ලක්වන්නට ගොස් අනූනවයෙන් ජිවීතය බෙරුණු ත් ඇය අදට ත් උපන් බිමට පෙම් කරන්නියක වන නිසා ය.
