75 වසරකට පසු ත්‍රිකුණාමල මුහුදෙන් මතු වූ ‘සගයින්’

ත්‍රිකුණාමල මුහුදේ ගිනිගෙන මුහුදුබත් වූ නෞකාව යළි ගොඩ ගැනේ

by Sagarika Chathumali 31-03-2018 | 4:28 PM
COLOMBO (News 1st)  : ත්‍රිකුණාමල වරායේ නැංගුරම්ලා තිබියදී දෙවන ලෝක යුද සමයේ  ජපනුන් හෙළූ බෝම්බ ප්‍රහාරවලින් මුහුදු බත්වූ නෞකාවක් නාවික හමුදාව විසින් යළි ගොඩගනු ලැබ තිබේ. නාවික හමුදාව පැවසුවේ, 1942 අප්‍රේල් මස 9 වන දා ජපාන ගුවන් යානා මගින් එල්ල කරන ලද බෝම්බ ප්‍රහාරයකින් මෙම නෞකාව ගිනිගෙන පසුව මුහුදුබත් වී ඇති බවයි. මීටර් 138 ක දිගින් යුත් මෙය මගීන් හා භාණ්ඩ ප්‍රවාහනය සඳහා යොදා ගැනුණකි. නාවික හමුදාව පැවසුවේ, නැගෙනහිර නාවික විධානය මගින්  2017 සැප්තැම්බර් මස 11 වන දා ආරම්භ කර මාස 5 ක් පුරා සිදුකළ මෙහෙයුමකින් අනතුරුව නෞකාව යළි ගොඩගත් බවයි. අඩි 35 ක් පමණ මුහුදු පතුලට වන්නට ගිල්වා තිබූ මෙම නෞකාව ගොඩ ගැනීමේ මෙහෙයුම් ආරම්භ කෙරුණේ, ත්‍රිකුණාමලය වරාය පහසුකම් පුළුල් කිරීමේ අවශ්‍යතාවය පැන නැගීම හේතුවෙනි. රාජකීය නාවික සේවයට අයත් 'සගයින්' නමැති මෙම නෞකාව වසර 75 කට පසු මෙලෙස ගොඩනැගීම මෙරට නාවික හමුදාවේ සුවිශේෂී කාර්යභාරයක් බව නාවික හමුදාව සඳහන් කළේ ය.