ඩේවිඩ් වෝනර්ගේ ක්‍රිකට් අවසන් වෙයිද?

මම යළිත් ඔස්ට්‍රේලියාවට ක්‍රිකට් ක්‍රීඩා කරන්නේ නැතිවෙයි - ඩේවිඩ් වෝනර්

by Chathuranga Rajapaksha 31-03-2018 | 7:41 AM
තමා නැවත වතාවක් ඕස්ට්‍රේලියාව නියෝජනය කරමින් ක්‍රිකට් තරගවලට ක්‍රීඩා නොකරනු ඇතැයි ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩක ඩේවිඩ් වෝනර් පවසයි. ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පසුගියදා සිය ටෙස්ට් කණ්ඩායමේ නායක ස්ටීව් ස්මිත්ට සහ උප නායක ඩේවිඩ් වෝනර්ට මාස 12 ක තරග ගහනමක් පැනවිය. ඒ, දකුණු අප්‍රිකාවට එරෙහි තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පළුදු කිරීමේ වරදට අදාළවයි. මෙම තරග තහනම හේතුවෙන් එළඹෙන අප්‍රේල් මස 7 වනදා ආරම්භ වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ද ඩේවිඩ් වෝනර්ට අහිමි විය. දකුණු අප්‍රිකාවට එරෙහිව පැවැති තුන්වන ටෙස්ට් ක්‍රිකට් තරගයේ දී පන්දුව පළුදු කළ බවට ඕස්ට්‍රේලියානු හිටපු නායක ස්ටීවන් ස්මිත්ට, උප නායක ඩේවිඩ් වෝනර්ට හා කැමරන් බ්‍ර්රැන්කොෆ්ට චෝදනා එල්ල විය. ඔස්ට්‍රේලියා කණ්ඩායමේ කැමරන් බැන්ක්‍රොෆ්ට් මෙම වරද සිදු කළ අතර, ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය සිදු කළ පරීක්ෂණයේදී නායක ස්ටීවන් ස්මිත් සහ උප නායක ඩේවිඩ් වෝනර් ඒ පිළිබඳව දැනුවත්ව සිටි බවට ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය පසුගියදා කළ නිවේදනයේ සඳහන් ය. ඒ අනුව ස්මිත්ට සහ වෝනර්ට වසරක තරග තහනමක් පැනවිය. 31 හැවිරිදි ඩේවිඩ් වෝනර් ඔස්ට්‍රේලියාව වෙනුවෙන් වසර 9ක පමණ කාලයක් ජාත්‍යන්තර තරග නියෝජනය කර තිබේ. ඔහු එක්දින ජාත්‍යන්තර ක්‍රිකට් වරම් වර්ෂ 2009දී දකුණු අප්‍රිකාවට එරෙහිව දිනා ගත්තේය. ඔහු සිය මංගල ජාත්‍යන්තර ටෙස්ට් තරගය 2011 වර්ෂයේදී නවසීලන්තයට එරෙහිව ක්‍රීඩා කළේය. ඒ අනුව ටෙස්ට් තරග 74කට ක්‍රීඩා කර ඇති වෝනර් ලබා ඇති ලකුණු ගණන 6363කි. ඊට අර්ධ ශතක 29ක් සහ ශතක 21ක් ඇතුළත්ය. ටෙස්ට් ඉනිමක ඔහුගේ වැඩිම ලකුණු ගණන 253කි. එක්දින ජාත්‍යන්තර තරග 106ක් ක්‍රීඩා කර ඇති වෝනර් ලබා ඇති ලකුණු ගණන 4343ක් වන අතර ඊට අර්ධ ශතක 17ක් සහ ශතක 14ක් ඇතුළත්ය. එක්දින තරගයක ඔහුගේ වැඩිම ලකුණු ගණන 179කි. වෝනර් පන්දුවාර 20යි 20 ජාත්‍යන්තර තරග 70ක් ක්‍රීඩා කර ලබා ඇති ලකුණු ගණන 1792කි. ඊට අර්ධ ශතක 13ක් ඇතුළත් අතර ඉනිමක වැඩිම ලකුණු ගණන 90කි. ඩේවිඩ් වෝනර් මේ වනවිට මාධ්‍ය හමුවේ කර ඇති ප්‍රකාශය අනුව යළි කිසිඳු දිනෙක ඔහු ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ ක්‍රීඩා කරනු දැකගත නොහැකි වෙයි.