උපයන විට ගෙවීම් ඇතුළු බදු සංශෝධන හෙට සිට

උපයන විට ගෙවීම් ඇතුළු බදු සංශෝධන හෙට සිට

by Sagarika Chathumali 31-03-2018 | 9:26 PM
COLOMBO (News 1st)  : නව බදු සංශෝධන කිහිපයක් හෙට සිට බලාත්මක වීමට නියමිත බව මුදල් අමාත්‍යංශය පවසයි. මෙම නව බදු සංශෝධන ක්‍රියාත්මක වන්නේ නව දේශීය ආදායම් පනත හෙට සිට බලාත්මක කිරීමට සමගාමීවයි. මේ යටතේ රාජ්‍ය හා පෞද්ගලික අංශයේ ශ්‍රමිකයින්ගේ වැටුපෙන් අයකරනු ලබන උපයන විට ගෙවීම් බද්දද හෙට සිට සංශෝධනය වනු ඇති. ඒ අනුව දැනට අයකරනු ලබන උපයන විට ගෙවීම් බදු සීමාව, වාර්ෂික වැටුප රුපියල් ලක්ෂ හතහාමාරේ සිට ලක්ෂ 12 දක්වා ඉහල දමා තිබේ. වාර්ෂික ආදායම ලක්ෂ 12 සිට වැඩිවන පළමු ලක්ෂ 6ට 4%ක බද්දක් අයකරනු ඇති. එතැන් සිට වැඩිවන සෑම ලක්ෂ 6කට පිළිවෙලින් 8%, 12%, 16%, 20%, 24% ලෙස බදු මුදල් ඉහළ යන බව මූල්‍ය විශ්ලේෂකයෝ පෙන්වා දෙති. මීට පෙර මෙහි උපරිම බදු මුදලේ ප්‍රතිශතය වූයේ, 16%යි. මීට අමතරව විදේශයන්හි සේවය කරන ශ්‍රමිකයින් මෙරට බැංකුවල තැන්පත් කරන ඉතුරුම්වලට ලැබෙන පොලියට 5% ක බද්දක් අයකිරීමට නියමිතයි. එහෙත් විදෙස්ගත ශ්‍රමිකයින් තම නිවෙස්වලට හා ඥාතීන් වෙත එවනු ලබන මුදල් සඳහා කිසිදු බද්දක් අය නොකරන බවද මුදල් අමාත්‍යංශය සඳහන් කළේ ය. ජ්‍යේෂ්ඨ පුරවැසියන් සඳහා පොලී ආදායම ලක්ෂ 15 දක්වා බද්දෙන් නිදහස් වනු අතර ඉතිරිය 5%ක බද්දක් අයකරනු ඇති. බදු සහන හා බදු විරාම ලබාදීම සඳහා මුදල් අමාත්‍යවරයාට පැවැති අවස්ථා 200 ක් අහෝසි කර තිබීම ද විශේෂත්වයකි.