සිසුන් 9960කට සා/පෙළ සියලු ම විෂයන් සඳහා A සාමාර්ථ

සිසුන් 9960කට සා/පෙළ සියලු ම විෂයන් සඳහා A සාමාර්ථ

by Staff writer 30-03-2018 | 12:19 PM
COLOMBO (Newsfirst) - අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල 27 වන දා රාත්‍රියේ නිකුත් විය. මෙවර ප්‍රතිඵල අනුව දිවයිනේ ප්‍රථම ස්ථාන හිමිකර ගැනීමට සිසුවියන් 5 දෙනෙකු සහ එක් සිසුවෙකු සමත්ව තිබේ. විභාග ප්‍රතිඵල www.doenets.lk යන වෙබ් අඩවියට පිවිසීමෙන් ලබා ගත හැකි ය. මෙවර ප්‍රතිඵල අනුව ගම්පහ රත්නාවලී බාලිකා මහා විද්‍යාලයේ කසුනි හංසනා තත්සරණි සෙනෙවිරත්න, ගම්පහ රත්නාවලී බාලිකා විද්‍යාලයේ ම චමෝදි රවීසා සුබසිංහ සහ මහනුවර උසස් බාලිකා විද්‍යාලයේ නවෝද්‍යා ප්‍රභාවී රණසිංහ පළමු ස්ථාන දිනා ගත්හ. මහනුවර මහාමායා බාලිකා විද්‍යාලයේ ලිමාෂා අමන්දි දිව්‍යාංජනා , මාතර සුජාතා විද්‍යාලයේ රන්දි ලක්ප්‍රියා සහ රත්නපුර සීවලී මධ්‍ය මහා විද්‍යාලයේ කවීශ ප්‍රතිභාත් දිවයිනේ පළමු ස්ථාන ලබාගත් සිසුන් අතරට ඇතුළත් ය. මෙවර සාමාන්‍ය පෙළ විභාගයේදී සිසුන් 9 දෙනෙක් සම ලකුණු සමගින් දිවයිනේ දෙවන ස්ථාන ලබා ගෙන සිටිති. ඒ අනුව කොළඹ දේවි බාලිකා විද්‍යාලයේ නිපුනි ඉන්දීවරී හේරත්, කොළඹ සී.එම්.එස් බාලිකා විද්‍යාලයේ අනීෂා ගීතාංජලී ගුණවර්ධන, නුගේගොඩ සමුද්‍රදේවී බාලිකා විද්‍යාලයේ රිසිනි දිනාරා කුමාරසිංහ දෙවන ස්ථාන ලබා ගෙන තිබේ. කොළඹ ශාන්ත ජෝසෆ් විද්‍යාලයේ කවින් සන්දීප සිරිවර්ධන, ගම්පහ බණ්ඩාරනායක විද්‍යාලයේ තිමන්ත සමාධි වික්‍රමසිංහ, හෝමාගම මහින්ද රාජපක්ෂ විද්‍යාලයේ සෙනුරි දිල්රූ මල්ලිකාරච්චි සහ යාපනය වෙම්බඩි උසස් බාලිකා විද්‍යාලයේ මිරුති සුරේෂ්කුමාර් ද දෙවන ස්ථාන ලබා ගත් සිසුන් අතරට ඇතුළත් ය. මීට අමතරව මහනුවර හිල්වුඩ් විද්‍යාලයේ නිසංසා කසුන්දි ගොකරැල්ල සහ මාතර සුජාතා විද්‍යාලයේ අමන්දි නයනතාරා ජයසූරිය දෙවන ස්ථාන ලබා ගත්හ. මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර ‍සාමාන්‍ය පෙළ විභාගය සඳහා පෙනී සිටි අපේක්ෂකයින් සංඛ්‍යාව 688,573 කි. මේ අතර මෙවර අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයෙන් විෂයන් 9 සඳහා ම A සාමාර්ථ ලබා ගත් සිසුන් සංඛ්‍යාව 9960කි. මෙවර ප්‍රතිඵල අනුව උසස් පෙළ විභාගය සඳහා සිසුන් 73.05%ක් සුදුසුකම් ලබා තිබේ. එය පසුගිය වසරට සාපේක්ෂව වර්ධනයක් සිදු වී ඇති අතර එම වසරේ උසස් පෙළ විභාගය සඳහා සුදුසුකම් ලැබූ සිසුන් සංඛ්‍යාව 69.94%කි. ප්‍රතිඵල සම්බන්ධයෙන් යම් තොරතුරක් දැනගැනීමට අවශ්‍ය නම් 1911 ක්ෂණික ඇමතුම් අංකයෙන් විභාග දෙපාර්තමේන්තුව ඇමතීමෙන් ලබා ගත හැකි ය. ඊට අමතරව 011- 2 784208 හෝ 011- 2 784 537 යන දුරකතන අංක හරහා පාසල් විභාග සංවිධාන හා ප්‍රතිඵල ශාඛාව ඇමතීමෙන් ද ප්‍රතිඵල පිළිබඳ තොරතුරු දැනගත හැකි ය. මේ අතර ප්‍රතිඵල නැවත සමීක්ෂණ අයැදුම්පත් ඉදිරිපත් කිරීම සඳහා අප්‍රේල් 7 වන දා දක්වා අවස්ථාව ලබා දෙන බව විභාග දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය. පෞද්ගලික අයැදුම්කරුවන්ට නැවත සමීක්ෂණ සඳහා අයැදුම් කිරීමට අප්‍රේල් 12 වන දා දක්වා අවස්ථාව ලබා දී ඇත.