සැක කටයුතු බැංකු ගිණුම් 3ක් පිළිබඳ FCID විමර්ශන

රුපියල් මිලියන 957 ක් තැම්පත් කර ඇති සැක කටයුතු බැංකු ගිණුම් 3ක් පිළිබඳ FCID විමර්ශන අරඹයි

by Chathuranga Rajapaksha 30-03-2018 | 9:24 PM
COLOMBO (Newsfirst) - පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය රුපියල් මිලියන 957 ක් තැම්පත් කර ඇති සැක කටයුතු බැංකු ගිණුම් 3ක් පිළිබඳ විමර්ශනයක් ආරම්භ කර තිබේ. චීන ජාතිකයින් තිදෙනෙකුගේ නමින් ඇති මෙම ගිණුම් මුදල් විෂුද්ධිකරණ පනත යටතේ විමර්ශනය කෙරේ. බී වර්තාවක් හරහා අධිකරණයට කරුණු වාර්තා කරමින් පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාශය පවසන්නේ පසුගිය මාර්තු 15 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුවේ මූල්‍ය බුද්ධි ඒකකය විසින් කොළඹ පෞද්ගලික බැංකු ශාඛාවක පවත්වාගෙන යන සැක කටයුතු මෙම ගිණුම් පිළිබඳව පැමිණිල්ලක් සිදු කළ බව ය. ඉන් අනතුරව කළ විමර්ශනයන් හරහා කොළඹ මහාධිකරණය එම ගිණුම් අත්හිටුවීමට නියෝග කර තිබුණි. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය පවසන්නේ එක් චීන ජාතිකයකු අසත්‍ය තොරතුරු ලබාදී මෙරට පැමිණීමට නේවාසි විසා ලාබාගෙන ඇති බව ය. අනිත් චීන ජාතියන් දෙදෙනාගේ වීසා බලපත්‍ර මේ වනවිට විමර්ශනය කරමින් තිබේ. පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය එම චීන ජාතිකයින් ති‍දෙනාට ඊයේ දිනයේදී කොට්ඨාශයට පැමිණ ප්‍රකාශයක් ලබා දීමට දැනුම් දී තිබුණ ද ඔවුන් පැමිණ තිබුනේ නැහැ. අනතුරුව කළ විමර්ශනවලදී හෙළි වී ඇත්තේ එක් චීන ජාතිකයෙකු රටින් පිටව ගොස් ඇති බව ය. අනිත් චීන ජාතියින් දෙදෙනා රටින් පිටවීම වළක්වමින් පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය වාරණයක් ලබාගෙන තිබේ. රුපියල් මිලියන 957 ක මුදලක් චීන ජාතිකයක් තිදෙනෙකු විසින් උපයාගත් ආකාරය සෙවීමට ද පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය විමර්ශනයක් ආරම්භ කරනු ලැබ තිබේ. මේ වසර මුලදී යුරෝපා පාර්ලිමේන්තුව විසින් ශ්‍රී ලංකාව ඇතුළු රටවල් 04 ක් යුරෝපා කොමිසමේ මුදල් විශුද්ධිකරණයට අදාළ අසාඳු ලේඛනයට ඇතුළත් කරනු ලැබිණි. ඊට අමතරව අන්තර් රාජ්‍ය මූල්‍ය කාර්ය සාධක බලකාය විසින් ද ශ්‍රී ලංකාව එවැනි ලැයිස්තුවකට ඇතුළත් කර තිබුණි. https://www.facebook.com/NewsfirstSL/videos/1894448767282039/