මව් කුස තුළ සිටින දරුවෙකුට කළ සාර්ථක සැත්කම

මව් කුස තුළ සිටින දරුවෙකුට පේරාදෙණිය රෝහලේදී සාර්ථක සැත්කමක්

by Staff writer 30-03-2018 | 12:54 PM
COLOMBO (Newsfirst) - පේරාදෙණිය ශික්ෂණ රෝහලේ ප්‍රථම වතාවට තවත් විශේෂ ශල්‍යකර්මයක් සාර්ථකව සිදු කරනු ලැබුවේ ය. පේරාදෙණිය ශික්ෂණ රෝහලේ කළ මෙම විශේෂ සැත්කම වූයේ, ගර්භනී කාන්තාවකගේ කුස තුළ සිටින දරුවෙකුගේ ගෙල ප්‍රදේශයේ පැවති ගෙඩියක් ඉවත් කිරීම යි. සැත්කම නිම කිරීමට වෛද්‍යවරුන්ට පැය 4ක් ගතව තිබේ. වෛද්‍ය විද්‍යාවේ මෙම රෝගය හඳුන්වන්නේ ටෙරටෝමා ලෙස යි. මව් කුස තුළදී ම දරුවාට මෙම ශල්‍යකර්මය සිදු කර ඇත්තේ දරුවා ඉපදුණු පසු එය සිදු කළ හොත් ජීවිත අවදානමක් මතුවීම හේතුවෙන් බව වෛද්‍යවරු ප්‍රකාශ කළහ. අදාළ සැත්කම සිදු කර තිබුණේ, පේරාදෙණිය සහ සිරිමාවෝ බණ්ඩාරනායක යන රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් සැදුම්ලත් කණ්ඩායමක්. එම ශල්‍යකර්මයේ තවත් කොටසක් අද සිදුකෙරෙන්නේ සිරිමාවෝ බණ්ඩාරනායක ළමා රෝහලේදී ය.