බන්ධනාගාර කොමසාරිස්වරයාව අනිවාර්ය නිවාඩු යවයි

බන්ධනාගාර කොමසාරිස්වරයාව අනිවාර්ය නිවාඩු යවයි: පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීවට විනය පරීක්ෂණ

by Staff writer 30-03-2018 | 6:36 AM
COLOMBO (Newsfirst) - වැලිකඩ බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින, බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා මහතා වහාම ක්‍රියාත්මක වන පරිදි අනිවාර්ය නිවාඩු යැවීමට බන්ධනාගාර දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ. මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා ප්‍රකාශ කළේ, විමර්ශනවලින් අනතුරුව ඉදිරි ක්‍රියාමාර්ග ගන්නා බව ය. මේ අතර මෙම සිදුවීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව මහතා සම්බන්ධයෙන් ඉදිරියේදී විනය ක්‍රියාමාර්ග ගන්නා බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක පොලිස් අධිකාරී රුවන් ගුණසේකර මහතා ප්‍රකාශ කළේ ය. වැලිකඩ බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යංශයේ පොලිස් පරීක්ෂක නියෝමාල් රංගජීව හා බන්ධනාගාර කොමසාරිස් එමිල් රංජන් ළමාහේවා යන දෙදෙනා ලබන 10 වන දා දක්වා රක්ෂිත බන්ධනාගාරගත කෙරිණි. කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රංග දිසානායක මහතා මෙම නියෝග කළේ, ඔවුන් ප්‍රතිකාර ලැබූ ජාතික රෝහලට පැමිණ යි. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පෙරේදා පස්වරුවේ අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රෝගී තත්ත්වයක් ඇතැයි පැවසීමෙන් කොළඹ ජාතික රෝහලට ඇතුළත් කළේ ය. ජාතික රෝහලේ වෛද්‍යවරුන්ගේ නිර්දේශ මත ඔවුන් රෝහලෙන් පිටත් කළ පසු ඊයේ පස්වරුවේ බන්ධනාගාර රෝහලට ඇතුළත් කළ බව ද තුෂාර උපුල්දෙණිය මහතා සඳහන් කළේ ය. ඔවුන් අත්අඩංගුවට ගැනුණේ 2012 වසරේ වැලිකඩ බන්ධනාගාරය තුළදී රැඳවියන් හා සිරකරුවන් 27 දෙනෙකු ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙනි.