අඩි 220 ක් උස කසළ කන්ද නිසා මහවැලි ගඟට තර්ජනයක්

අඩි 220 ක් උස කසළ කන්ද නිසා ලංකාවේ දිගම ගඟට මහනුවරදී තර්ජනයක්

by Chathuranga Rajapaksha 30-03-2018 | 9:40 PM
COLOMBO (Newsfirst) -  මහනුවර නගරයේ අපද්‍රව්‍ය ගෙනවිත් දමන තේක්කවත්ත කසළ කන්දට නගර සභාවේ ගලි බවුසර් වලින් අපද්‍රව්‍ය මුදා හැරීම නිසා මහවැලි ගඟ අපවිත්‍ර වන බවට ප්‍රදේශවාසීන් චෝදනා එල්ල කරයි. මීතොටමුල්ලට නොදෙවෙනි මහනුවර, ගොහාගොඩ, තේක්කවත්තේ කසළ කන්ද ගැන වසරකට පෙර අප වාර්තා කළේය. කඩා වැටෙන අවස්ථාවේ මීතොටමුල්ලේ කසළ කන්දේ උස අඩි 300ක් වූ අතර තේක්කවත්ත කසළ කන්ද ඒ වන විට ත් අඩි 220 ක් උසට වර්ධනය වී තිබුණි. ප්‍රදේශවාසීන් පැවසුවේ මේ කන්ද අසළ ජනතාවට දැඩි අවදානමක් මෙන්ම සෞඛ්‍ය ගැටලු රැසක් ද පැවති බව ය. අප එදා කළ අනාවරණයෙන් පසු මේ ගැටලුව සම්බන්ධයෙන් අවධානය යොමු කළ බලධාරීන් මේ ආසන්නයේ ඇති නිවාස කිහිපයකින් ජනතාව ඉවත් කර වන්දි ලබා දී තිබුණි. නමුත් ප්‍රදේශයේ කසළ මේ කන්දට බැහැර කිරීම නතර නොවීය. ප්‍රදේශවාසීන් පවසන්නේ මේ වනවිට මහනුවර නගර සභාවේ ගලි බවුසර් සියල්ල මෙම ස්ථානයට යොමු කර අපද්‍රව්‍ය බැහැර කර යන බව ය. ඒ වගේම ප්‍රදේශය පුරා දැඩි දුර්ගන්ධයක් ද පවතී. පසුගිය වසරේද අප මෙම ගැටලුව වාර්තා කිරීමෙන් අනතුරුව මධ්‍යම පළාත් ආණ්ඩුකාර නිලුකා ඒකනායක මහත්මිය කසළ කන්ද නිරීක්ෂණය කළා ය. අනතුරුව ඇය මාධ්‍ය වෙත පැවසුවේ මෙලෙස අප ද්‍රව්‍ය බැහැර කළ නොහැකි බව ත් මෙම තත්ත්වය නිරීක්ෂණය කර ජනාධිපතිතුමාට කඩිනම් වාර්තාවක් ලබාදෙන බව ය. https://www.facebook.com/NewsfirstSL/videos/1894398770620372/