හානි වූ මුදල් නෝට්ටු 31න් පසු ත් මාරු කළ හැකියි

හානි වූ මුදල් නෝට්ටු 31න් පසු ත් මාරු කළ හැකියි

by Sagarika Chathumali 29-03-2018 | 7:36 PM
COLOMBO (News 1st)  : සිතා මතා විකෘති කරන ලද ව්‍යවහාර මුදල් නෝට්ටු මාර්තු 31 වනදායින් පසු ශ්‍රී ලංකා මහ බැංකුවේ ප්‍රධාන කාර්යාලයෙන් හෝ ප්‍රාදේශීය කාර්යාලවලින් හුවමාරු කිරීමට අවස්ථාව ලබා දී තිබේ. ශ්‍රි ලංකා මහබැංකුව නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ මහජනතාව මුහුණ දෙන අපහසුතා හා ඔවුන්ගේ බලවත් ඉල්ලීම සැලකිල්ලට ගනිමින් මෙම තීරණයට එළැඹි බවයි. එවැනි මුදල් නෝට්ටු මාර්තු මස 31 වන දාට පෙර මහබැංකුවෙන් හෝ වාණිජ බැංකුවලින් හුවමාරු කරගත යුතු බව ශ්‍රි ලංකා මහබැංකුව මීට පෙර දැනුම් දී තිබිණ. මේ අනුව වාණිජ බැංකුවලින් එම මුදල් නෝට්ටු හුවමාරු කර ගැනීමේ අවස්ථාව මාර්තු මස 31 වනදායින් අවසන් වේ. ශ්‍රී ලංකා මහබැංකුව අද නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ අත්වැරදීමකින් කුඩා ඉරක් හෝ තිතක් වැනි සලකුණක් සටහන් වී ඇති ව්‍යවහාර මුදල් නෝට්ටු ගනුදෙනු සඳහා තවදුරටත් භාවිත කළ හැකි බවයි. විකෘති කරන ලද ව්‍යවහාර මුදල් නෝට්ටුවක් ATM යන්ත්‍රයක් හරහා තමන් අතට පත්වුවහොත් එය ළඟ ම ඇති බැංකු ශාඛාවෙන් හුවමාරු කරගත හැකි බව ද ශ්‍රී ලංකා මහබැංකුවේ ව්‍යාපාර මුදල් දෙපාර්තමේන්තුව නිකුත් නිවේදනයේ සඳහන් ය.