ස්ටීවන් ස්මිත් හඬා වැටෙයි....!

ඔස්ට්‍රේලියා හිටපු නායක ස්ටීවන් ස්මිත් හඬා වැටෙයි....!

by Sagarika Chathumali 29-03-2018 | 5:44 PM
වසරක තරග තහනමෙන් පසු මව්බිමට පැමිණි ඔස්ට්‍රේලියා හිටපු ටෙස්ට් නායක ස්ටීවන් ස්මිත් කඳුළු සලමින් සමාව අයැද තිබේ.  ඔහු  මෙලෙස කඳුළු සලමින් සමාව අයැද ඇත්තේ, වසරක තරග තහනමකට ලක්වීමෙන් පසුව සිය රටට පැමිණ පැවැත්වූ පළමු ප්‍රවෘත්ති සාකච්ඡාවේදී ය. තම කණ්ඩායමේ ක්‍රීඩකයින් පන්දුව පළුදු කිරීමට අදාළ සිදුවීමේ සියලු වගකීම් තමා භාර ගන්නා බව ද ඔස්ට්‍රේලියා හිටපු ක්‍රිකට් නායකයා එහිදී  පවසා ඇත. දකුණු අප්‍රිකාවට එරෙහි තුන්වැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේදී ඔස්ට්‍රේලියා කණ්ඩායමේ කැමරන් බැන්ක්‍රොෆ්ට් පන්දුව පළුදු කළ බවට අනාවරණ විය. පසුව හෙළි වූයේ, හිටපු නායක ස්ටීවන් ස්මිත් මෙන්ම උප නායක ඩේවිඩ් වෝනර් ද මේ පිළිබඳව දැනුවත්ව සිටි බවයි. ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය ඊයේ එම ක්‍රීඩකයින් තිදෙනාට තරග තහනමක් පැනවූයේ ඒ හේතුවෙනි. 28 හැවිරිදි ස්මිත් අද මාධ්‍ය හමුවේදී පැවසුවේ,  සිදු වූ දෙය සිය නායකත්වයේ දුර්වලතාවක් බවයි.

"එය මගේ නායකත්වයේ දුර්වලතාවයක්.... මට සමාවෙන්න.... මම ක්‍රිකට් ක්‍රීඩාවට ආදරෙයි... මම ආදරය කරන ක්‍රිකට් ක්‍රීඩා කිරිමට බලාපොරොත්තුවෙන් සිටින දරුවන්ට මං ආදරෙයි. ඔබ සැක සහිත තීරණයක් ගැනීම සිතන ඕනෑම වෙලාවක එය ඔබේ ආදරණීයයන්ට බලපාන ආකාරය ගැන සිතන්න... මගේ පියා සහ මව මේ ගැන වේදනා විඳිනු දැකීම දුකක්. ඇත්තටම මම ඔස්ට්‍රේලියාවට, මගේ ක්‍රීඩා ලෝලීන්ට, ජනතාවට ගෙන දුන් වේදනාව සම්බන්ධයෙන් සමාව අයැද සිටිනවා"

මේ අතර සාමජ මාධ්‍ය ඔස්සේ, පණිවුඩයක් නිකුත් කරමින් ස්මිත් පවසන්නේ, තමා බරපතළ වරදක් කළ බව ත් එම වරද නිවැරදි කිරීම සඳහා හැකි සෑම පියවරක් ම ගන්නා බව ත් ය. මීට අමතරව ඩේවිඩ් වෝනර් හා බ්‍රැන්කොෆ්ට් ද මෙම සිද්ධිය සම්බන්ධයෙන් සමාව අයැද තිබේ. මේ අතර ඕස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පවසන්නේ ඕස්ට්‍රේලියානු ක්‍රිකට් කණ්ඩායමේ උප නායක ඩේවිඩ් වෝනර්ට නැවත කිසිදිනක සිය කණ්ඩායමේ නායකත්වය දැරීමට නොහැකි බවත් ස්මිත්ට හා බ්‍රැන්කොෆ්ට කන්ඩායමේ නායකත්වය දැරීමට හැකිවන්නේ තරග තහනම නිමා වී මාස 12 කට පසුව බවයි. තවද ස්මිත් , වෝනර් හා බ්‍රරැන්කොෆ්ට් තරග තහනමට ලක්ව සිටින කාලය තුළ පැය 100 ක කාලයක් සිය රට තුළ ක්‍රිකට් ක්‍රීඩාවේ දියුණුව සදහා සමාජ සේවයේ නිරත විය යුතු බව ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය නිවේදනය කර තිබේ. මෙම තරග තහනම හේතුවෙන් වෝනර්,ස්මිත්ට හා බ්‍ර්රැන්කොෆ්ට එළැඹෙන අප්‍රේල් මස 7 වනදා ආරම්භ වීමට නියමිත ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය ද  අහිමි වනු ඇති.