ව්‍යාජ Facebook ගිණුම් ඇරයුම්වලින් ප්‍රවේසම් වන්න

ව්‍යාජ Facebook ගිණුම් ඇරයුම්වලින් ප්‍රවේසම් වන්න...

by Hashini De Mel 29-03-2018 | 3:37 PM

COLOMBO (News 1st) - වසරේගත වූ කාලය තුළ Facebook ගිණුම් 720ක් සම්බන්ධයෙන් පැමිණිලි ලැබී ඇති බව ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය පවසයි.

එහි ජ්‍යේෂ්ඨ තොරතුරු තාක්ෂණ ඉංජිනේරු රොෂාන් චන්ද්‍රගුප්ත මහතා සඳහන් කළේ, මේ සම්බන්ධයෙන් ලැබුණු පැමිණිලි අනුව 80% ක් ව්‍යාජ Facebook ගිණුම් බව තහවුරු කර ගත් බවයි. එම ගිණුම් අත්හිටුවන ලෙස Facebook ආයතනය වෙත දැනුම් දී ඇති බව ද ඔහු ප්‍රකාශ කළේ ය. Facebook ඇතුළු ඉන්ටර්නෙට් ගැටලු සම්බන්ධයෙන් මහජනතාවට ඇති පැමිණිලි 011 2 691 692 යන දුරකතන අංකයට යොමු කරන ලෙස ශ්‍රී ලංකා පරිගණක හදිසි ප්‍රතිචාර සංසදය දැනුම් දෙයි.

ව්‍යාජ Facebook ගිණුමක් හඳුනාගන්නේ කෙසේ ද?

පහත දැක්වෙන කරුණු පිළිබඳව සැලකිලිමත් වෙමින් ව්‍යාජ Facebook ගිණුම් හඳුනාගැනීම පහසුවෙන් කර ගත හැකිය. 1. Profile Pictures සඳහා ව්‍යාජ ජායාරූප භාවිතය. 2. මුහුණුවරට සමාන නොවන ජායාරූප පැවතීම. 3. පෞද්ගලික තොරතුරු විශ්වාසනීයත්වයෙන් තොරවීම. මීට අමතරව යම් Facebook ගිණුමක් හරහා මිත්‍රයින් (Friend Request) එකක් එවා තිබුණහොත් එම ගිණුම සහ තම ගිණුම ට පොදු මිත්‍රයින් කවුරුන්දැයි විමසා බැලීමෙන් ද අදාළ Facebook ගිණුම තහවුරු කරගත හැකි ය.