අර්ජුණ මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමේ තවත් උත්සහයක්

අර්ජුණ මහේන්ද්‍රන් අත්අඩංගුවට ගැනීමට රතු නිවේදනයක් නිකුත් කරන්නැයි, ඉල්ලීමක්

by Hashini De Mel 29-03-2018 | 3:44 PM

COLOMBO (News 1st) -හිටපු මහබැංකු අධිපති අර්ජුණ මහේන්ද්‍රන් මහතා අත්අඩංගුවට ගැනීම සඳහා රතු නිවේදනයක් ලබා ගැනීමට ජාත්‍යන්තර පොලිසියෙන් ඉල්ලීමක් කළ බව පැමිණිලි පාර්ශ්වයේ නීතිඥවරු කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට අද දැනුම් දුන්හ.

මේ අතර අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස දන්වා මීට පෙර වරෙන්තු නිකුත් කර තිබූ අර්ජුණ මහේන්ද්‍රන් මහතාට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය විසින් අද යළි වරෙන්තු නිකුත් කරනු ලැබිණ. ඒ මහ බැංකු බැඳුම්කර ගනුදෙනුවට අදාළ නඩුව අද කැඳවූ අවස්ථාවේදීයි. එම නඩුවට අදාළව අද අධිකරණයට ඉදිරිපත් කළ පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් සහ ප්‍රධාන විධායක නිලධාරී කසුන් පලිසේන යන මහත්වරුන් ලබන 12 වන දා දක්වා යළි රක්ෂිත බන්ධනාගාරගත කෙරිණ. පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගමට අයත් සියලු දේපළ හා වත්කම්වල විස්තර වහාම අධිකරණයට ලබාදෙන ලෙසට ද එහිදී පර්පෙචුවල් ට්‍රෙෂරිස් සමාගමේ සභාපතිවරයාට අධිකරණය නියෝගයක් නිකුත් කරනු ලැබී ය. එමෙන්ම අර්ජුන් ඇලෝසියස් හා කසුන් පාලිසේන යන දෙදෙනාගේ නමින් පවතින සියලුම වත්කම් හා දේපොළ පිළිබඳ සවිස්තර වාර්තාවක් සහ ඔහුගේ පවුල් සාමාජිකයන්ගේ නමින් පවතින සියලුම වත්කම් හා දේපොළවල විස්තර අධිකරයට ඉදිරිපත් කරන ලෙසට ද කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය එහිදී නියෝග කළා ය. එමෙන්ම පර්පෙවුවල් ට්‍රෙෂරීස් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල රැස්වීම්වල වාර්තා සහ වාර්ෂික මහාසභා රැස්වීම්වල ප්‍රකාශවල පිටපත් එම සමාගමේ අධ්‍යක්ෂවරුන්ගේ තොරතුරු සහිතව ලබාදෙන ලෙසට ද පර්පෙවුවල් ට්‍රෙෂරීස් සමාගමේ ලේකම්වරියට අධිකරණය නියෝග කරනු ලැබී ය. එහිදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ කාලිංග ඉන්ද්‍රතිස්ස මහතා අධිකරණයට දැනුම් දුන්නේ පර්පෙවුචල් ට්‍රෙෂරීස් සමාගම පසුගිය 20 වන දා සිට සම්පුර්ණයෙන් වසා දමා ඇති බවයි. එහි සේවකයින්ට වැටුප් නොගෙවීම නිසා ඔවුන් සියලු දෙනා රාජකාරිවලින් ඉල්ලා අස්වී ඇති බව ජනාධිපති නීතිඥවරයා අධිකරණයට දැනුම් දුන්නේ ය. මහේස්ත්‍රාත්වරිය අපරාධ පරික්ෂණ දෙපාර්තමේන්තුවට නියෝග කළේ, විමර්ශන ප්‍රගතිය ලබන 10 වන දා අධිකරණයට වාර්තා කරන ලෙසයි.