ස්මිත්,වෝනර්,බැන්ක්‍රොෆ්ට්ට තහනමක්

ස්ටීවන් ස්මිත්,ඩේවිඩ් වෝනර්,කැමරන් බැන්ක්‍රොෆ්ට්ට ඔස්ට්‍රේලියාවෙන් ක්‍රිකට් තහනමක්

by Staff writer 28-03-2018 | 7:53 AM
COLOMBO (Newsfirst) - ඔස්ට්‍රේලියා ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත්, උප නායක ඩේවිඩ් වෝනර් සහ කැමරන් බැන්ක්‍රොෆ්ට්ට එරට ක්‍රිකට් ආයතනය මගින් තහනමක් පනවා තිබේ. ඒ, දකුණු අප්‍රිකාව සමග පැවැති 3 වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී පන්දුව පළුදු කිරීමේ සිදුවීමට ඔවුන් වරදකරුවන් බවට තීරණය කිරීම හේතුවෙනි. මේ අතර කඩුලු රකින ක්‍රීඩක ටිම් පෙයින්, ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වයට පත් කර තිබේ. දකුණු අප්‍රිකාවට එරෙහි 3වන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී කැමරන් බැන්ක්‍රොෆ්ට් පන්දුව පළුදු කළ බවට චෝදනා එල්ල විය. අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලය ඔස්ට්‍රේලියා නායක ස්ටීවන් ස්මිත්ට සහ කැමරන් බැන්ක්‍රොෆ්ට්ට දඬුවම් නියම කළේ, ඔවුන් දෙදෙනා තම ආයතන රීති උල්ලංඝණය කළ බවට චෝදනා එල්ල කරමිනි. ඒ අනුව අදාළ ක්‍රීඩකයින් දෙදෙනාටම දඩ මුදල් නියම කළ අතර ස්මිත්ට එක් ටෙස්ට් තරගයක තහනමක් ද පැනවිය. කෙසේ නමුත් මෙම සිදුවීමට අදාළව ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය ද පරීක්ෂණයක් පවත්වන අතර එම ආයතන ප්‍රධාන විධායක නිලධාරී ජේම්ස් සදර්ලන්ඩ් දකුණු අප්‍රිකාවට යවා ඇත්තේ ද ඒ හේතුවෙනි. ඔහු දකුණු අප්‍රිකාවේ ජොහැනස්බර්ග්හිදී මාධ්‍ය හමුවකට සහභාගී විය.‍ එහිදී ඔහු පැවසුවේ පන්දුව පළුදු කිරීමේ සිද්ධිය සඳහා කණ්ඩායමේ අනෙකුත් ක්‍රීඩකයින් සම්බන්ධ වී නොමැති බවට තහවුරු වී ඇති බව ය. මේ අතර අදාළ ක්‍රීඩකයින් තිදෙනා නැවතත් ඔස්ට්‍රේලියාවට පිටත් කර හරින බව ද ජේම්ස් සදර්ලන්ඩ් ප්‍රකාශ කළේ ය. ඔවුන් වෙනුවට මැට් රෙන්ෂොව්, ග්ලෙන් මැක්ස්වෙල් සහ ජෝ බර්න්ස් ඔස්ට්‍රේලියා ටෙස්ට් කණ්ඩායමට කැඳවා තිබේ. මේ අතර ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතන නිල වෙබ් අඩවියේ දැක්වෙන්නේ අදාළ ක්‍රීඩකයින් තිදෙනා පිළිබඳව තවදුරටත් පරීක්ෂණ සිදු කරන බව ය.