අගමැතිට අයත්ව තිබූ අමාත්‍යංශ විෂය පථයන් රැසක් ඉවතට

අගමැතිට අයත්ව තිබූ අමාත්‍යංශ විෂය පථයන් රැසක් ඉවතට

by Sagarika Chathumali 28-03-2018 | 6:48 PM
COLOMBO (News 1st) : අග්‍රාමාත්‍යවරයා ඇමති ධූරය දැරූ ජාතික ප්‍රතිපත්ති සහ ආර්ථික කටයුතු අමාත්‍යං‍ශය යටතේ තිබූ විෂයයන් සහ ආයතන කිහිපයක් වහා ම ක්‍රියාත්මක වන පරිදි ඉවත් කර තිබේ. ඊට අදාළ අති විශේෂ ගැසට් නිවේදනයක් අද ජනාධිපතිවරයා විසින් නිකුත් කරනු ලැබිණ. මේ යටතේ ශ්‍රී ලංකා මහ බැංකුව සහ ශ්‍රී ලංකා සුරැකුම්පත් හා විනිමය කොමිසම, වහා ම ක්‍රියාත්මක වන පරිදි යළි මුදල් හා ජනමාධ්‍ය අමාත්‍යංශය යටතට පවරා ඇත. නව ගැසට් නිවේදනයට අනුව ලිට්‍රෝ ගෑස් සමාගම, පවරා ඇත්තේ රාජ්‍ය ව්‍යවසාය හා මහනුවර සංවර්ධන අමාත්‍යංශය යටතටයි. කන්තලේ සීනී සමාගම ප්‍රාථමික කර්මාන්ත අමාත්‍යංශය යටතට පවරා තිබේ. ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාව හා පාලිත සමාගම් ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතට පවරා ඇත. මුල්‍ය නීති පනත සහ සුරැකුම්පත් හා විනිමය කොමිෂන් සභා පනත, ක්‍රියාත්මක කිරීමේ බලය පැවරුනේ මුදල් අමාත්‍යංශයටයි. ජාතික ප්‍රතිපත්ති හා ආර්ථික කටයුතු අමාත්‍යංශය යටතේ පැවති ජාතික තරුණ සේවා සභාව සහ ජාතික යොවුන් සේනාංකය, ව්‍යාපෘති කළමනාකරණ , තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය යටතට පවරා තිබේ. මීට අමතරව ජාතික තරුණ සේවා සභාව, ජාතික යොවුන් සේනාංකය, මහජන උපයෝගිතා කොමිසම, සේවා නියුක්තිකයින්ගේ භාරකාර අරමුදල, ජාතික රක්ෂණ භාර අරමුදල, යන ආයතන ද පැවරී ඇත්තේ තරුණ කටයුතු හා දක්ෂිණ සංවර්ධන අමාත්‍යංශය යටතටයි.