පසුගිය ඝාතන රැසක පසුපස සිටින්නේ කවුද?

මධුෂ් ඇතුළු පාතාල නායකයින් කිහිප දෙනෙකුගේ ගැටුම් පසුගිය ඝාතන රැසකට හේතුව බව හෙළිවෙයි

by Staff writer 28-03-2018 | 7:24 AM
COLOMBO (Newsfirst) - පසුගිය කාලයේ සිදුවූ වෙඩි තැබීම් හා පුද්ගල ඝාතනවලට මධුෂ්, අංගොඩ ලොක්කා සහ ඝාතනයට ලක්වූ සමයන් නමැති පාතාල නායකයාගේ සාමාජිකයින් සම්බන්ධ බව පරීක්ෂණවලදී හෙළිව ඇතැයි පොලිස් වි‍‍ශේෂ කාර්ය බලකාය පවසයි. පොලිස් වි‍‍ශේෂ කාර්ය බලකායේ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු සඳහන් කළේ, වසරේ මේ දක්වා කාලය තුළ දිවයිනේ විවිධ ස්ථානවල පාතාල කල්ලි අතර ගැටුම්වල ප්‍රතිඵල ලෙස පුද්ගලයින් 08 දෙනෙකු ඝාතනයට ලක්ව ඇති බව ය. තවත් කිහිප දෙනෙකු තුවාල ලබා ඇති බව ද ඔහු සඳහන් කළේ ය. මෙම පිරිස පාතාල කල්ලි සමග විවිධ සබඳතා පැවැත්වූවන් බව පරීක්ෂණවලදී හෙළිව ඇතැයි ඔහු ප්‍රකාශ කළේ ය. ලැබී ඇති බුද්ධි තොරතුරු අනුව මධුෂ් නමැත්තා දැනට ඩුබායිහි රැඳී සිට මෙරට අපරාධ මෙහෙයවන බව පොලිස් වි‍ශේෂ කාර්ය බලකායේ සංවිධානාත්මක අපරාධ ඒකකය සඳහන් කළේ ය. මධුෂ් ඇතුළු විදේශවලට පළා ගොස් ඇති කණ්ඩායම් ජාත්‍යන්තර පොලීසියේ සහය ඇතුව අත්අඩංගුවට ගැනීමේ විශේෂ වැඩපිළිවෙළක් ද මේ වන විට ක්‍රියාත්මක ය. එම ඒකකය පැවසුවේ, ඒ අනුව මෙම පාතාල ගැටුම් හා ඊට සම්බන්ධ පිරිස් අත්අඩංගුවට ගැනීමට සිවිල් ඇඳුමින් සැරසුන් පොලිස් නිලධාරීන් හා පොලිස් විශේෂ කාර්ය බලකායේ නිලධාරීන් රැසක් පැය 24 පුරා සේවයට යොදවා ඇති බව ය. මීට අමතරව පොලීසිය හා පොලිස් විශේෂ කාර්ය බලකාය ඒකාබද්ධ මෙහෙයුම් ද ක්‍රියාත්මක කර ඇති බව එහි ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ප්‍රකාශ කළේ ය. මේ අතර නිවේදනයක් නිකුත් කරමින් රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව සඳහන් කළේ, පාතාල කල්ලි සාමාජිකයින් අත්අඩංගුවට ගැනීම සඳහා ජනාධිපතිතුමාගේ හා අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් මත විශේෂ ඒකකයක් පිහිටුවා ඇති අතර ඉන් පාතාලය මර්දනය කිරීම සඳහා අවශ්‍ය උපදෙස් වරින්වර අවශ්‍ය පරිදි පොලීසියට හා පොලිස් විශේෂ කාර්ය බලකායට ලබා දෙන බව ය. මීට අමතරව පාතාලය මර්දනය සඳහා බස්නාහිර පළාතේ පොලිස් කොට්ඨාස 10ටම ක්ෂණික මාර්ග බාධක යොදා පරීක්ෂා කිරීම් මෙන් ම ඒ සඳහා විශේෂ පුහුණුවක් ලත් කණ්ඩායම් යෙද වීමට ද පියවර ගෙන ඇති බව රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව පැවසුවේ ය.