ගුටි කෙළියකින් කෙළවර වූ මස්කෙළියේ මංගල සැසිය

ගුටි කෙළියකින් කෙළවර වූ මස්කෙළියේ මංගල සැසිය

by Sagarika Chathumali 28-03-2018 | 7:52 PM
COLOMBO (News 1st) : පළාත් පාලන ආයතනවල බලය පිහිටුවීමේදී මතුව ඇති ගැටලු මේ වන විට උග්‍ර වෙමින් තිබේ. බලය පිහිටුවීමේදී තීරණාත්මක සාධකය වන මන්ත්‍රීවරුන් මුදලට අලෙවි වෙද්දී , ඇතැම් පළාත් පාලන ආයතනවල බල අරගලය වෙනුවෙන් පිරිස් අතර ගැටුම් ද නිර්මාණය වී අති අයුරු දැකිය හැකියි. අද මස්කෙළිය ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවීමේදී ඇති වූයේ එවන් තත්ත්වයකි. පසුගිය පළාත් පාලන මැතිවරණයේදී නුවරඑළිය දිස්ත්‍රික්කයේ මස්කෙළිය ප්‍රාදේශීය සභාව සඳහා ලංකා කම්කරු කොංග්‍රසයෙන් නියෝජිතයින් 7 දෙනෙක් , එක්සත් ජාතික පක්ෂයෙන් මන්ත්‍රීවරුන් 7 දෙනෙක්, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් එක් මන්ත්‍රීවරයෙක් හා එක්සත් ජාතික නිදහස් පෙරමුණෙන් එක් මන්ත්‍රීවරයෙකු වශයෙන් තේරී පත්වූහ. ඒ අනුව අද ප්‍රාදේශීය සභා බලය පිහිටුවීමේදී ලංකා කම්කරු කොංග්‍රසයට පොදුජන පෙරමුණේ නියෝජිතයා සහය දැක්වූ අතර එක්සත් ජාතික පක්ෂයට එක්සත් ජාතික නිදහස් පෙරමුණේ නියෝජිතයා සහය පළ කළහ. බලය සම සමව බෙදීගිය ද එක්සත් ජාතික පක්ෂයේ එක් මන්ත්‍රීවරියක් අද සභාවට පැමිණ නොසිටියා ය. මේ හේතුවෙන් එක්සත් ජාතික පක්ෂයේ මන්ත්‍රීවරු අද සභාවේ බලය පිහිටුවීමේ කටයුතු නතර කරන ලෙස පළාත් පාලන කොමසාරිස්වරයාගේ ඉල්ලීමක් කළහ. නමුත් සභාවේ ඝන පූර්ණයේ ගැටලුවක් නොමැති වීම නිසා බලය පිහිටුවීමට හැකි බව පළාත් පාලන කොමසාරිස්වරයා ප්‍රකාශ කිරීමත් සමග සභාවේ නොසන්සුන්තාවක් හට ගැනිණ. මන්ත්‍රීවරුන්ගේ විරෝධය මත පැවති ඡන්ද විමසීමේදී බහුතර ආසන සංඛ්‍යාවක් හිමිකරගත්, ලංකා කම්කරු කොංග්‍රසයේ කේ සෙන්මුගවල්ලි මහතා සභාපතිවරයා ලෙස පත්කර ගැනිණ. මේ අතර සභාවේ ගැටලු පවතින අවස්ථාවේ ඉන් පිටත සිටි පිරිසක් සභාව පරිශ්‍රයට ඇතුළුවීමට උත්සාහ කළේ, සභාවේ කටයුතු නැවැත්වීමේ අරමුණිනි. පොලිසියේ මැදිහත්වීමෙන් මෙම පිරිස සභාව පරිශ්‍රයට ඇතුළුවීමට ගත් උත්සාහය වැළැක් වුවද සභාව අවසන් වී මන්ත්‍රීවරුන් පිටතට පැමිණීමෙන් අනතුරුව දෙපාර්ශවයේ මන්ත්‍රීවරුන් හා ආධාරකරුවන් අතර ගැටුමක් ඇති විය. පසුව පොලීසියේ මැදිහත්වීමෙන් පිරිස පාලනය කිරීමට පියවර ගැනිණ. මේ අතර අද පස්වරු 5.30ට පමණ දෙපාර්ශවයේ ආධාරකරුවන් අතර යළිත් නෝවුඩ් නගරයේදී ගැටුමක් හටගෙන තිබේ. ගැටුමෙන් තුවාල ලැබූ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරු දෙදෙනෙකු ඇතුළු පස් දෙනෙකු මේ වනවිට රෝහල් ගත කර ඇති අතර, වාහන දෙකකට දැඩි අලාභහානි සිදුව තිබේ. https://www.facebook.com/NewsfirstSL/videos/1892012524192330/