කිම් ජොන් උන් සහ චීන ජනපති අතර හමුවක්

උතුරු කොරියානු නායකයා න්‍යෂ්ඨික අවිහරණය කරන බවට ප්‍රතිඥා දෙයි

by Staff writer 28-03-2018 | 12:22 PM
(Newsfirst) - උතුරු කොරියානු නායකයා න්‍යෂ්ඨික අවිහරණය කරන බවට ප්‍රතිඥා දුන් බව චීනය පවසයි. උතුරු කොරියානු නායක කිම් ජොන් උන් චීන ජනපති ෂී ජින්පින් සමග පැවති ඓතිහාසික හමුවේදී කොරියානු අර්ධද්වීපයේ න්‍යෂ්ඨික අවිහරණය කිරීමට පොරොන්දු වූ බවට විදෙස් වාර්තාහි දැක්වේ. කිම් ජොන් උන් චීනයේ සංචාරයක නිරත වන බවට පසුගිය දින කිහිපයේ මත පළ වූ අතර ඊට දින 2කට පසු එනම් අද දින එම මත සත්‍යයක් බවට චීන සහ උතුරු කොරියානු මාධ්‍ය තහවුරු කළේ ය. චීන ජනාධිපති ෂී ජින්පින්ගේ ආරාධනයක් මත දින 4ක නිල නොවන සංචාරයක් සඳහා කිම් ජොන් උන් සිය බිරිඳ සමග දුම්රිය මගින් චීනයට පැමිණි බව සඳහන් ය. විදෙස් වාර්තාහි දැක්වෙන්නේ, 2011 වර්ෂයේ කිම් ජොන් උන් සිය ධූරයේ වැඩ භාර ගැනීමෙන් පසු කළ ප්‍රථම විදේශ සංචාරය මෙය බව ය. මෙම සංචාරය එළැඹෙන මැයි මස අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ කිම් ජොන් උන් අතර සිදුවීමට නියමිත හමුව අතරතුර සිදුවීම සුවිශේෂී කාරණයක් බව විදෙස් මාධ්‍ය පෙන්වා දෙයි.