තෙල් මිල සහ බස් ගාස්තුව

සිපෙට්කෝ තෙල් මිල වැඩි කළොත් බස් ගාස්තු වැඩි කරනවා - බස් සංගම්

by Chathuranga Rajapaksha 27-03-2018 | 8:28 PM
COLOMBO (Newsfirst) - ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තෙල් මිල වැඩි කළහොත් බස් ගාස්තු වැඩි කරන බව සමස්ත ලංකා පෞද්ගලික බස් සමාගම් සම්මේලනයේ සභාපති අංජන ප්‍රියන්ජිත් මහතා පවසයි. බස් සංගම් කිහිපයක් සමග කළ සාකච්ඡාවකින් පසු මෙම තීරණයට එළැඹි බව ඔහු සඳහන් කළේය. ඔහු වැඩි දුරටත් සඳහන් කළේ, බස් ගාස්තු ජාතික ප්‍රතිපත්තියට අනුව එම තීරණයට එළැඹෙන බව ය. https://www.facebook.com/NewsfirstSL/videos/1890840584309524/   මේ අතර ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතාගෙන් අප කළ විමසීමකදී ඔහු පැවසුවේ ලංකා IOC සමාගම පමණක් ඉන්ධන මිල වැඩිකර ඇති බැවින් බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් දැනට තීන්දුවක් ගෙන නොමැති බව ය. නමුත් ඉදිරියේදී ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව තෙල් මිල වැඩි කළහොත් බස් ගාස්තු වැඩි කිරීම සම්බන්ධයෙන් සළකා බලන බව ද ඔහු වැඩි දුරට ත් සඳහන් කළේය. පසුගියදා ලංකා IOC සමාගම ඩිසල් ලීටරයක් රුපියල් 5 කින් සහ පෙට්‍රල් ලීටරයක් රුපියල් 9 කින් මිල ඉහළ දැමීමට පියවර ගැනිණි. මේ අතර ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ කළමනාකාර අධ්‍යක්ෂ නීල් ජයසේකර මහතා පැවසුවේ, ඉන්ධන මිල ගණන් ඉහළ නැංවීම සම්බන්ධයෙන් තම ආයතනය මෙතෙක් තීරණයක් ගෙන නොමැති බව ය.