පළාත් පාලන බලය සහ මහාපරිමාණ මුදල් ගනුදෙනු

පළාත් පාලන ප්‍රධානීන් පත් කර ගැනීමට මහාපරිමාණයෙන් සිදුවන මුදල් ගනුදෙනු

by Hashini De Mel 27-03-2018 | 10:37 PM

COLOMBO (News 1st) - පළාත් පාලන ආයතනවල සභාපතිවරුන් හා උපසභාපතිවරුන් පත්කර ගැනීම සඳහා මහාපරිමාණයෙන් මුදල් හා වරප්‍රසාද හුවමාරු වෙමින් තිබේ.

මැතිවරණ නිරීක්ෂණ සංවිධාන පැවසූවේ, ඇතැම් ස්ථානවල රුපියල් ලක්ෂ 10 සිට කෝටිය දක්වා මුදල් ලබාදී ඇති බව ය. මනාප ක්‍රමය වෙනුවට කොට්ඨාසයට වගකියන නියෝජිතයෙකු පත්කර ගැනීම සඳහා පාර්ලිමේන්තුවේ සම්මත කරගත් අනපනත්වලින් ඇති කළ ඡන්ද ක්‍රමය ගැන විෂයයභාර ඇමතිවරයා දරන මතය එසේ වුවත් ප්‍රායෝගික තත්ත්වය ඊට හාත්පසින්ම වෙනස්වී ඇත. අද පුත්තලම නගර සභාවේ සභාපතිවරයා පත් කර ගැනීම සිදු වූයේ උණුසුම් වට පිටාවක ය. ශ්‍රී ලංකා මුස්ලිම් කොංග්‍රසයේ කේ. ඒ. බායිස් මහතා සභාපති ධූරයට පත් වූ අතර පොදුජන පෙරමුණේ සුසන්ත පුෂ්පකුමාරට උපසභාපති අසුන හිමි විය. ඡන්දයේදී මුස්ලිම් කොංග්‍රසයට හා එක්සත් ජාතික පක්ෂයට ආසන 7 බැගින් හිමිවී තිබිණි. පොදුජන පෙරමුණෙන් මන්ත්‍රීවරු දෙදෙනෙක්, නිදහස් පක්ෂයෙන් එක් මන්ත්‍රීවරයෙක් හා ස්වාධීන කණ්ඩායම්වලින් තව ත් දෙදෙනෙක් මෙම සභාවට තේරී පත් ව සිටි. මේ අතර හලාවත නගර සභාවට අද සභාපතිවරයෙකු තෝරා ගැනීමට නොහැකි වූයේ ඝණ පූර්ණය නොමැතිවීම හේතුවෙනි. සභිකයන් 20කගෙන් සමින්විත හලාවත නගර සභාවේ ජන්ද විමසීම පැවැත්වීම සඳහා අවම වශයෙන් සභිකයන් 10 දෙනෙකු සිටිය යුතු වනු ඇත. නමුත් අදාළ අවස්ථාව වන විට සභාවේ සිටියේ මන්ත්‍රීවරුන් 9 දෙනෙකු පමණි. ජන්ද විමසීම කල් දැමීමට එක්සත් ජාතික පක්ෂයේ සභිකයින් විරෝධය පළ කිරීම හේතුවෙන් පළාත් පාලන කොමසාරිස්වරයා සභාවෙන් පිටතට ගෙනගියේ පොලිස් ආරක්ෂාව යටතේයි. මේ අතර අද ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ වැඩි ආසන ප්‍රමාණයක් දිනා සිටි තලවකැලේ ලිදුල නගර සභාවේ බලය ස්වාධින කණ්ඩායමක් හිමිකර ගත්තේ ය. ඒ සභාපතිවරයා තොරාපත් කර ගැනීමේ ඡන්ද විමසීමේදී එක්සත් ජාතික පක්ෂය හා ස්වාධීන කණ්ඩයාමක් තව ත් ස්වාධීන කණ්ඩායමකට සහාය පළ කිරීම හේතුවෙනි. මෙවර පළාත් පාලන මැතිවරණයේදී ලැබුණු ප්‍රතිඵල අනුව පළාත් පාලන ආයතන 340 න් අඩකට පමණ සභා පිහිටුවීමේ බලය තනි පක්ෂයකට හිමිවී නොමැත. මේ නිසා බොහෝ පළාත් පාලන ආයතනවල නගාරාධිපතිවරයා හෝ සභාපතිවරයා තෝරා පත් කර ගැනීම සිදු වූයේ ඡන්ද විමසීමෙනි. ඊයේ පැවති අරණායක ප්‍රාදේශිය සභාවේ සභාපතිවරයා තේරීමේ ඡන්ද විමසීමේදී තමා අල්ලස් ලබාගෙන එක්සත් ජාතික පක්ෂ අපේක්ෂකයාට ජන්දය ලබාදුන් බව ප්‍රාදේශිය සභා මන්ත්‍රී ඉෂාරා මධුෂාණි මහත්මිය අද පිළිගත්තා ය. https://www.youtube.com/watch?v=XPUcU2F1KuU