දෙහිවල ගල්කිස්ස නගර සභාවේ බලය එ.ජා.ප.යෙන් ගිලිහෙයි

දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ බලය එ.ජා.ප.යෙන් ගිලිහෙයි

by Staff writer 26-03-2018 | 10:40 AM
COLOMBO (Newsfirst) - එක්සත් ජාතික පක්ෂය තවදුරටත් අවුලට පත් කරමින් පළාත් පාලන ආයතන කිහිපයක බලය ද ගිලිහෙමින් තිබේ. මේ අනුව අද උදෑසන දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාව සතු බලය එක්සත් ජාතික පක්ෂයෙන් ගිලිහී ගියේ ය. අද උදෑසන රැස්වූ දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ සභිකයින් අතර පැවැති ඡන්ද විමසීමේදී වැඩි ඡන්ද ප්‍රමාණයක් හිමි කර ගත්තේ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණෙන් තරග කළ නාවලගේ ස්ටැන්ලි ඩයස් මහතා යි. ඔහුට ඡන්ද 23 ක් හිමි වූ අතර හිටපු නගරාධිපතිනී සුනේත්‍රා රණසිංහ මහත්මියට හිමි වුණේ ඡන්ද 21ක් පමණි. පසුගිය පළාත් පාලන ඡන්දයේදී දෙහිවල - ගල්කිස්ස මහ නගර සභාවේ ආසන 19ක් එක්සත් ජාතික පක්ෂයට හිමි වූ අතර ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට ද ආසන 19ක් හිමවී තිබිණි. එක්සත් ජනතා නිදහස් සන්ධානයට ආසන 6ක් සහ ජනතා විමුක්ති පෙරමුණට ආසන 4 බැගින් හිමිවී තිබිණි. මේ අතර කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ බලය ද පොදුජන පෙරමුණ විසින් අද පිහිටුවනු ලැබී ය. අද පැවැති ඡන්ද විමසීමේදී එක් වැඩි ඡන්දයකින් ජය ලබමින් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ කැබිතිගොල්ලෑව ප්‍රාදේශීය සභාවේ බලය පිහිටුවනු ලැබුවේ ය.