ක්‍රිකට් ඝාතකයින් ලැබූ දඬුවම ප්‍රමාණවත් ද?

ක්‍රිකට් ඝාතකයින් ලැබූ දඬුවම ප්‍රමාණවත් ද?

by Staff writer 26-03-2018 | 11:59 AM
මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෙස විරුදාවලි ලත් ක්‍රිකට් ක්‍රීඩාවේ මහත්මා ගුණය කෙළෙසී යමින් පවතින බව පසුගිය සිකුරාදා (23) අපි ප්‍රශ්න කළෙමු. (ක්‍රිකට් තවදුරටත් මහත්වරුන්ගේ ක්‍රීඩාවක් ද?) එම ලිපියෙන් අප ඉදිරිපත් කිරීමට උත්සහ කළේ, ක්‍රිකට් තරග අතරතුර දිගින් දිගට ම සිදුවෙමින් පවතින අපහාස, උපහාස සහ ගැටුම් පිළිබඳව ය. එවන් වටපිටාවක කිසිසේත් අපේක්ෂා කළ නොහැකි කනගාටුදායක තත්ත්වයක් දකුණු අප්‍රිකාවේ කේප් ටවුන් නගරයෙන් වාර්තා විය. දකුණු අප්‍රිකාවෙන් වාර්තා වුව ද, මෙම කනගාටුදායක සිදුවීම වාර්තා වූයේ, ඔස්ට්‍රේලියානු කණ්ඩායමෙනි. මෙය එසේ මෙසේ සිදුවීමක් නොව, කණ්ඩායමේ නායකයා ඇතුළු පිරිසකගේ පූර්ව සැලැස්මක් අනුව ක්‍රියාත්මක වූ අවාසනාවන්ත සිදුවීමකි. පන්දුව පළුදු කර දකුණු අප්‍රිකානුවන්ට පීඩනයක් එල්ල කිරීම ඔවුන්ගේ උපක්‍රමය වී තිබිණි. මෙම පූර්ව සැලැස්ම නායක ස්ටීවන් ස්මිත් ඇතුළු නායකත්ව කණ්ඩායමක් හරහා සිදුවුණු බවත් කැමරන් බැන්ක්‍රොෆ්ට් එම වරද කිරීම සඳහා යෙදවූ බවත් ඔවුහු ප්‍රසිද්ධියේ පිළිගත්හ.

දඬුවම කුමක් ද?

ඒ අනුව, ඔවුන්ට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය දුන් දඬුවම ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ස්ටීවන් ස්මිත්ට එක් ටෙස්ට් තරග තහනමක් සහ තරග ගාස්තුව අහිමි කිරීම ත්, කැමරන් බැන්ක්‍රොෆ්ට්ට තරග ගාස්තුවෙන් 75%ක් අත්හිටුවීම ත් ය.

දඬුවම පිළිබඳව සෑහිමකට පත් විය හැකි ද?

මහත්වරුන්ගේ ක්‍රීඩාව ලෙස සැලකෙන ක්‍රිකට් ක්‍රීඩාවේ ජීව ගුණය සහ මහත්මා ගුණය කෙළෙසූ මෙම සැලසුම්සහගත ක්‍රියාවලියට එරෙහිව ක්‍රිකට් කවුන්සිලය දුන් දඬුවම ප්‍රමාණවත් ද? යන්න ගැටලුවකි. යම් වරදක් කළ ක්‍රීඩකයෙකුට තරගයක් තහනම් කිරීම හෝ තරග ගාස්තුව අහිමි කිරීම එම ක්‍රීඩකයාට දැනෙන දඬුවමක් ද? එම දඬුවම හරහා එම ක්‍රීඩකයාගේ ප්‍රතිරූපයට යම් හානියක් විය හැකි නමුත් මෙම බරපතළ වරදට එරෙහිව දුන් දඬුවම අතිශය සුඵ එකකි. එය එසේ වූයේ, ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ ක්‍රීඩකයින් පිරිසක් මෙම වරදට සම්බන්ධ වූ හෙයින් ද?

ඔස්ට්‍රේලියානු බලධාරීන්ගේ ප්‍රතිචාරය

මෙම වරද සම්බන්ධයෙන් බැලූ බැල්මට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කර ඇති බව පෙනුණ ද, ඔස්ට්‍රේලියානු බලධාරීන් මේ සම්බන්ධයෙන් දැක්වූ ස්ථාවරය අගය කළ යුතු ය. ඔස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය මෙම සිද්ධියෙන් පසුව තීරණය කළේ, ස්ටීවන් ස්මිත් සහ ඩේවිඩ් වෝනර් දකුණු අප්‍රිකාවට එරෙහි තුන්වන ටෙස්ට් තරගයේ නායක සහ උප නායක තනතුරු වලින් ඉවත් කිරීමට ය. ඒ අනුව වැඩබලන නායක ලෙස ටිම් පේන් පත් කළ බව ඕස්ට්‍රේලියා ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ ය. මේ අතර, ඔස්ට්‍රේලියානු අග්‍රාමාත්‍ය මැල්කම් ටර්න්බුල් මේ සම්බන්ධයෙන් ඝෘජුව සිය විරෝධය පළ කළේ ය. ඔහු සඳහන් කළේ, මේ පිළිබඳව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය දැඩි පියවරක් ගනු ඇතැයි තමන් අපේක්ෂා කරන බව ය. මේ අතර, ඔස්ට්‍රේලියාවේ හිටපු ක්‍රිකට් ක්‍රීඩකයින් බොහො දෙනෙක් මෙම ක්‍රියාව හෙළ දකිමින් අදහස් පළ කළහ.
  • කුමුදු ජයවර්ධන