ඇතැම් පොලිස් නිලධාරීන් අල්ලස් ගන්නේ ඇයි?

ඇතැම් පොලිස් නිලධාරීන් අල්ලස් ගන්නේ ඇයි?

by Staff writer 26-03-2018 | 2:46 PM
පොලිස් නිලධාරීන් යනු අව් වැසි නොතකා සිය රාජකාරිය කරන ගරු කළ යුතු රාජ්‍ය සේවකයින් පිරිසකි. ඔවුන්ගේ එම මිල කළ නොහැකි සේවයට ජනතාව නිරන්තරයෙන් ගෞරව කරති. එහෙත්, පොලිස් නිලධාරීන්ට සහ නිල ඇඳුමට ජනතාව අතර පවතින ගෞරවය ඇතැම් නිලධාරීන්ගේ අල්ලස් ගැනීම් වැනි අක්‍රමිකතා හේතුවෙන් විනාශ වී යයි. බොහෝ විට පොලිස් නිලධාරීන් එම තත්ත්වයට පත් කරනු ලබන්නේ ද, මහ ජනතාව විසින් ම ය. යමෙකු යම් වරදකට පොලීසියට හසු වූ විට ඉන් පහසුවෙන් ගැලවීම සඳහා පොලිස් නිලධාරීන්ට අල්ලස් ලබා දීම පිරිසුදු පොලිස් සේවාවකට බාධාවකි. පවත්නා ක්‍රමයට බනිමින් එම ක්‍රමයට ම නතු නොවී දැන්වත් නිවැරදිව සිතා බලමු! ඇතැම් පොලිස් නිලධාරීන් අල්ලස් ගැනීමට පෙළඹෙන්නේ ඇයි? අපට මහ මග හමුවන පොලිස් නිලධාරීන්ගෙන් බහුතරය මැදි වයසේ පසුවන්නන් වන අතර බොහෝ විට ඔවුන් වසර 10කට අධික කාලයක් පොලිස් සේවයේ නිරතව සිටින්නන් ය. එම පොලිස් නිලධාරීන් ද ඔබ සහ මා වැනි සාමාන්‍ය පුද්ගලයෝ වෙති. වසර 10 ත් 20 ත් අතර කාලයක් සේවා පළපුරුද්ද සහිත පොලිස් කොස්තාපල්වරයෙකුට හිමි වන මූලික වැටුප රු. 25,000 - රු. 30,000 අතර වේ. කොස්තාපල්වරයා පමණක් නොව පොලිස් පරීක්ෂකවරුන්ගේ තත්ත්වය ද ඊට දෙවැනි නැත. පොලිස් පරීක්ෂක යනු පොලිස් සේවයේ මධ්‍යම පන්තියේ තනතුරකි. වසර 10 ත් 20 ත් අතර කාලයක් සේවා පළපුරුද්ද සහිත පොලිස් පරීක්ෂකවරයෙකුගේ මූලික වැටුප පවතින්නේ, රු. 30,000 සහ රු. 35,000 අතර ය. එම වැඔටුප වසර 20ක පළපුරුද්දක් සහිත කොස්තාපල්වරයෙකුගේ වැටුපට සමාන ය. ඔවුහු වැටුපට අමතරව බටා සහ වෙනත් දීමනා හිමිකම් කියති. එහෙත්, ඔවුන්ට පවුලක්, මහලු දෙමාපියන්, බිරිඳක් සහ දරුවන් රැකබලා ගැනීමට තිබේ. ඊටත් ඉහළින් ඔවුන් සිය කුටුම්භය නඩත්තු කිරීමට තිබේ. බිල් ගෙවීමට තිබේ. ණය ගෙවීමට තිබේ. ඔවුන්ගේ දරුවන්ට පොත්, පාසල් නිල ඇඳුම් සහ වෙනත් ලිපි ද්‍රව්‍ය අවශ්‍ය වේ.

මෙය සාධාරණ ද?

දිවා රෑ නොතකා මහ ජනතාව සුරැකීමට වෙහෙසෙන පිරිසකට එම ගෙවීම් ප්‍රමාණවත් ද? සැලකිය යුතු වැටුප් වර්ධකයක් ලබා දීමෙන් ඔවුන්ගෙන් වඩා හොඳ සේවාවක් ලබා ගත නොහැකි ද? අල්ලස් ගැනීම අවම කළ නොහැකි ද? අසාර්ථක ඉදිකිරීම් සහ සංවර්ධන ව්‍යපෘති වෙනුවෙන් රජය බිලියන ගණනින් මුදල් වැය කරයි. විදෙස් සංචාර සඳහා දේශපාලනඥයෝ මිලියන ගණන් මුදල් වියදම් කරති. දේශපාලකයින්ට සුඛෝපභෝගී වාහන මිලදී ගැනීම සඳහා මිලියන ගණන් මුදල් වෙන් කරයි. සෑම පාර්ලිමේන්තු සැසියක් සඳහා ම විශාල ධන සම්භාරයක් වැය කෙරේ. මෙවැනි අනවශ්‍ය මහාපරිමාණ වියදම් කපා හැර, රට වෙනුවෙන් දිවා රෑ නොබලා සේවය කරන අපේ ම මිනිසුන් පිරිසකට සාධාරණ වැටුපක් ලබා දීමට අපට නොහැකි ද?

සිතන්න...