ගුවන් සේවයේ අර්බුදය ගැන මහජන මත විමසීම ඇරඹේ

ශ්‍රීලංකන් ගුවන් සේවයේ අර්බුදය පිළිබඳ මහජන මත විමසීම ඇරඹේ

by Hashini De Mel 25-03-2018 | 9:27 AM

COLOMBO (News 1st) - ශ්‍රීලංකන්, මිහින් ලංකා හා ශ්‍රීලංකන් කේටරින් යන ආයතවල සිදුව ඇති අක්‍රමිකතා සොයා බැලීමේ ජනාධිපති කොමිසම ඒ පිළිබඳ මහජන තොරතුරු විමසීම ආරම්භ කර තිබේ.

එම කොමිසමේ ප්‍රකාශකයෙකු සඳහන් කළේ, ඒ සඳහා ලබන 12 වන දා දක්වා මහජනතාවට අවස්ථාව ලබාදී ඇති බව ය. මේ අතර සිදුව ඇති අක්‍රමිකතා සොයා බැලීම සඳහා කොමිසම විසින් මූලික කටයුතු ආරම්භ කර ඇති බව ද එම ප්‍රකාශකවරයා සඳහන් කළේ ය. ශ්‍රීලංකන් හා මිහින් ලංකා හා ශ්‍රීලංකන් කෙටරින් යන ආයතවල සිදුව ඇතැයි පැවසෙන අක්‍රමිකතා සොයා බැලීමේ ජනාධිපති කොමිසම සඳහා පසුගිය 14 වන දා නිලධාරීන් පත් කෙරිණි. ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, විශ්‍රාමලත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අනිල් ගුණරත්න මහතා එහි සභාපතිවරයා ලෙස පත්කොට ඇති බව ය. සෙසු සමාජිකයන් වන්නේ අභියාචනාධිකරණ විනිසුරු ඊ.ඒ.ජී.ආර්. අමරසේකර, විශ්‍රාමලත් මාහාධිකරණ විනිසුරු පියසේන රණසිංහ, විශ්‍රාමලත් විගණකාධිපති ඇම්.ඩී.ඒ. හැරල් යන මහත්වරුන් සහ ශ්‍රී ලංකා ගිණුම් හා විගණන ප්‍රමිති සංගමයේ අධ්‍යක්ෂ ජෙනරාල් ඩබ්ලිව්.ජේ.කේ. ගීගනගේ මෙනවිය යි. ශ්‍රීලංකන් එයාලයින්, සීමා සහිත ශ්‍රීලංකන් කෙටරින් සහ සීමා සහිත මිහින් ලංකා සමාගම්වල 2006 ජනවාරි මස 06 වැනි දින සිට 2018 ජනවාරි 31 දක්වා වූ කාලය තුළ සිදුවුවායැයි සැලකෙන අක්‍රමිකතා පිළිබඳව විමර්ශන හා පරීක්ෂාකර වාර්තා කිරීම මෙම ජනාධිපති කොමිසමේ කාර්යභාරය වනු ඇති.