මුහුදු ඛාදනයෙන් කළු ගඟට ලවණ ජලය මුසුවීමේ අවදානමක්

මුහුදු ඛාදනය හේතුවෙන් කළු ගඟට ලවණ ජලය මුසුවීමේ අවදානමක්

by Hashini De Mel 25-03-2018 | 6:30 AM

COLOMBO (News 1st) - කළුතර, ආශ්‍රිතව සිදුවන මුහුදු ඛාදනයත් සමග කළු ගඟට ලවණ ජලය මුසුවීමේ අවදානමක් මතු ව තිබේ.

වෙරළ සංරක්ෂණ හා වෙරළ සම්පත් කළමනාකරණ දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජෙනරාල් ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා ප්‍රකාශ කළේ, සිදුවන වෙරළ ඛාදනය ද යළි වර්ධනයවී ඇති බවයි. 2017 වසරේ ගං වතුර බැස යාම සඳහා කළු ගඟ මෝය කට පුළුල් කිරීම හේතුවෙන්, කළුතර වෙරළ ආශ්‍රිතව මෙම වෙරළ ඛාදන තත්ත්වය හටගෙන ඇත. එම තත්ත්වය වැළැක්වීම සඳහා කඩිනම් වැඩපිළිවෙළක් ආරම්භ කර ඇති බව ද ඔහු පැවසුවේ ය. එහි සමාන්‍යාධිකාරි ඩී. යු. සුමනසේකර මහතා ප්‍රකාශ කළේ, ජල සැපයුමට මෙතෙක් බාධා එල්ලවී නොමැති බවයි. කෙසේ වෙතත්, ජලයේ ගුණාත්මක තත්ත්වය පිළිබඳ දෛනිකව පරීක්ෂාවන් සිදු කිරීමට පියවර ගෙන ඇති බව ද ඔහු පැවසුවේ ය. කළු ගඟට ලවණ ජලය මිශ්‍රවීමක් සිදුවුවහොත්, පීඩාවට පත් වන ජල පාරිභෝගිකයින් සංඛ්‍යාව 250,000 ඉක්මවනු ඇත.