පන්දුව පළුදු කිරීම ගැන විමර්ශනයක් අරඹයි

පන්දුව පළුදු කිරීම ගැන ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය විමර්ශනයක් අරඹයි

by Hashini De Mel 25-03-2018 | 11:16 AM

COLOMBO (News 1st) - දකුණු අප්‍රිකා සංචාරය තුළදී ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ක්‍රීඩකයින් පන්දුව පළුදු කිරීමේ සිද්ධියක් සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනය පවසා තිබේ.

ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරී ජේම්ස් සදර්ලන්ඩ් මහතා ප්‍රකාශ කළේ, සිද්ධිය සම්බන්ධයෙන් තමා තැති ගැනීමටත්, මහත් කනස්සල්ලටත් පත් වූ බවයි. ඊයේ කේප් ටවුන්හිදී පැවැති තරගයේදී තමා පන්දුව පළුදු කළ බව ඔස්ට්‍රේලියා ක්‍රීඩක කැමරන් බැන්ක්‍රොෆ්ට් පිළිගෙන තිබේ. ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක ස්ටීව් ස්මිත් පවසා ඇත්තේ, එම සැළැස්ම පිළිබඳ තමා පුර්ව ලෙස දැන සිටි බව ය. මේ පිළිබඳ විමර්ශනය කිරීම සඳහා ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ ජ්‍යේෂ්ඨ නිලධාරීන් දෙදෙනෙකු දකුණු අප්‍රිකාව බලා පිටත්වයාමට නියමිත බව විදෙස් වාර්තා සඳහන් කළේ ය. කෙසේ වෙතත් ස්ටීව් ස්මිත් තවදුරටත් ඔස්ට්‍රේලියානු නායකත්වයේ කටයුතු කරනු ඇති. ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ප්‍රධාන විධායක නිලධාරීවරයා ප්‍රකාශ කළේ, ස්ටීව් ස්මිත් කණ්ඩායමේ නායකත්වය දරන අතර තමන් යම් ක්‍රියාවලියකට අනුව කටයුතු කරන බවයි. කරුණු පිළිබඳව පැහැදිලි අවබෝධයක් ලද පසු මේ සම්බන්ධයෙන් තවදුරටත් අදහස් දක්වන බව ඔහු කියා සිටියේ ය.